IVF සායන මගින් පවුල්වලට වැරදි දායකයින්ගේ ශුක්‍රාණු ලබා දීම: 'මොකක් හරි වැරැද්දක් වෙලා කියලා මම දැනගෙන හිටියා'

James, pictured as a young child, is held by his mother Laura in an outdoor setting, with greenery in the background.

ඡායාරූප මූලාශ්‍රය, Keith Bridle / BBC කීත් බ්‍රිඩ්ල් / බීබීසී

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝරා සහ ඇගේ සහකරු පවසන්නේ සිය දරුවා වන ජේම්ස් පිළිසිඳ ගැනීම සඳහා වැරදි දායකයෙකුගේ ශුක්‍රාණු භාවිත කර ඇති බවයි
    • Author, ඇනා කොලින්සන් - File on 4 Investigates, ජෝ ඇඩ්නිට් - BBC News Investigations
  • කියවීමේ කාලය: මිනිත්තු 10

"ජේම්ස් ඉපදිලා ටික කාලෙකට පස්සේ මම දැන ගත්තා මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා," ලෝරා පවසයි.

ඇයට සහ ඇගේ සහකාරිය වන බෙත් හට දරුවන් දෙදෙනෙක් සිටිති. ඔවුන්ගෙන් එක් අයෙකු ජේම්ස් වන අතර වැඩිමහල් දරුවා කේට් වේ. දෙදෙනා ම පිළිසිඳ ගත්තේ උතුරු සයිප්‍රසයේ සායනයකදී IVF ප්‍රතිකාර මගිනි.

කාන්තාවන් දෙදෙනා ඔවුන්ගේ ම ඩිම්බ භාවිත කළ අතර සෞඛ්‍ය සම්පන්න නිර්නාමික ශුකාණු දායකයෙකු ප්‍රවේශමෙන් තෝරා ගත්හ. ශුකාණු ඇණවුම් කළ සායනයට ඔවුන් පැවසුවේ දරුවන් දෙදෙනා සඳහා ම එක ම පරිත්‍යාගශීලියෙකු යොදා ගැනීම වැදගත් බවයි. එවිට ඔවුන්ගේ දරුවන් ජීවවිද්‍යාත්මකව සම්බන්ධ වේ.

නමුත් ජේම්ස් උපත ලැබූ විට ඔවුන් දෙදෙනාට ම නිරීක්ෂණය වූයේ ඔහුගේ "ලස්සන" දුඹුරු පැහැති ඇස් ඔහුගේ ජීව විද්‍යාත්මක මව වන බෙත්ගේ සහ පවුල ඉල්ලා සිටි ශුක්‍රාණු දායකයාගේ ඇස්වලට සාපේක්ෂව බොහෝසෙයින් වෙනස් බවය. එය ඔවුන්ගේ සිත් තුළ සැකයක් මතු කළේ ය: "අපේ සායනය වැරැද්දක් කරල ද?"

වසර දහයකට ආසන්න කාලයක් කණස්සල්ලෙන් ගෙවා දැමූ බෙත් සහ ලෝරා ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කළ යුතු බව තීරණය කළහ. ප්‍රතිඵලවලින් පෙන්වා දුන්නේ, දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ඔවුන්ගේ මව්පියන් විසින් තෝරා ගනු ලැබූ ශුක්‍රාණු දායකයාට සම්බන්ධ නොමැති බවයි. එපමණක් නොව සාක්ෂි මගින් පෙන්වා දුන්නේ දරුවන් දෙදෙනා පවා එකිනෙකාට සම්බන්ධයක් නොමැති බවයි.

"මොකක් හරි ලොකු වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා දැනෙනකොට ඇති වුණේ ලොකු බයක් වගේ ම ප්‍රශ්නය වුණේ ඒකෙන් දරුවන්ට මොනවගේ බලපෑමක් ඇති වෙයි ද කියන එකයි," බෙත් පවසයි.

James and Kate sit on a wooden bench outdoors. Kate has one arm around James and there is a stone wall and some greenery in the background.

ඡායාරූප මූලාශ්‍රය, Family supplied

ඡායාරූප ශීර්ෂ වැකිය, ජේම්ස් සහ කේට් (වසර කිහිපයකට පෙර ගන්නා ලද ඡායාරූපයක්) දෙදෙනා ම IVF භාවිතයෙන් පිළිසිඳ ගත්හ

IVF ප්‍රතිකාර අතරතුර වැරදි ශුක්‍රාණු හෝ ඩිම්බ දායකයින් යොදා ගෙන ඇති බව විශ්වාස කරන දරුවන් හත් දෙනෙකුගේ පවුල් සමග බීබීසී පුවත් සේවය සාකච්ඡා කර තිබේ. මෙම පවුල්වලින් බහුතරයක් DNA පරීක්ෂණ සිදු කර ඇති අතර, ඒවායින් ඔවුන්ගේ බිය තහවුරු වන බව පෙනෙන්නට තිබේ.

මෙම සියලු සිදුවීම් යුරෝපා සංගමයේ නීතියට අදාළ නොවන සහ තුර්කි නීතිය පමණක් නීත්‍යනුකූලව පිළිගන්නා ප්‍රදේශයක් වන උතුරු සයිප්‍රසයේ සායනවලට සම්බන්ධ වේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විශේෂඥයින් පවසන්නේ, උතුරු සයිප්‍රසය විදෙස් රටවලදී සරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන බ්‍රිතාන්‍ය ජාතිකයින් අතර වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව ඇති බවයි. ලිහිල් නියාමනයන්ට යටත් මෙම සායන අඩු මිල ගණන් සහ ඉහළ සාර්ථකත්ව අනුපාතයන් ලබා දෙන බවට පොරොන්දු වෙයි.

ලොව පුරා සිටින නිර්නාමික ඩිම්බ සහ ශුක්‍රාණු දායකයින් විශාල සංඛ්‍යාවක් ඔවුන් සතුව සිටින අතර, එමගින් සරුභාවය සම්බන්ධයෙන් ගැටලු ඇති පුද්ගලයින්ට, LGBT ප්‍රජාවට හෝ තම රටවල මෙවැනි තෝරා ගැනීම් සඳහා ප්‍රවේශ විය නොහැකි තනිකඩ වැඩිහිටියන් අතර මෙම සායන බොහෝසෙයින් ජනප්‍රිය වේ.

බලාපොරොත්තුසහගතව සිටින මව්පියන් ඔවුන්ගේ ධනාත්මක අත්දැකීම් බෙදා ගනිමින් සිටින වීඩියෝ සහ ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

වෛද්‍යමය නොවන හේතු සඳහා දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය තෝරා ගැනීම වැනි එක්සත් රාජධානිය තුළ නීති විරෝධී සේවා ද උතුරු සයිප්‍රසයේ ස්ථාපිත සායන මගින් පිරිනමයි. එහි සෞඛ්‍ය අමාත්‍යංශය එහි සරුභාවය පිළිබඳ සායන අධීක්ෂණය කරන නමුත් අපගේ සොයා ගැනීම් සම්බන්ධයෙන් දිගින් දිගට ම සිදු කළ ප්‍රශ්නවලට මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

'අපි හිතුවේ අපි ශුක්‍රාණු ඇණවුම් කරලා තිබුණේ ඩෙන්මාර්කයෙන් කියලා'

මෙම විමර්ශනයේදී සියලු පවුල් සමග විශ්වාසය ගොඩනගා ගැනීමට මාස ගණනාවක් ගත විය. ඔවුන්ගේ කතාව බෙදා ගැනීමට ඔවුන් සූදානම් බව සහතික කිරීම සඳහා අපි බෙත්, ලෝරා, කේට් සහ ජේම්ස් සමග අපි සමීපව කටයුතු කළෙමු.

ඔවුන් 2011 වසරේදී පවුල් ජීවිතයක් ආරම්භ කිරීමට තීරණය කළ බව බෙත් සහ ලෝරා අපට පැවසූහ.

ඔවුන් තෝරා ගත්තේ උතුරු සයිප්‍රසයේ Dogus IVF මධ්‍යස්ථානයයි. එම කාලවකවානුවේදී එහි සිටි රෝගී සම්බන්ධීකාරක ජුලී හොඩ්සන් ඔවුන්ට පවසා ඇත්තේ ඩෙන්මාර්කයේ පිහිටි ලොව විශාලතම ශුක්‍රාණු බැංකුව වන ඩෙන්මාර්කයේ Cryos International වෙතින් ශීත කළ ශුක්‍රාණු ආනයනය කිරීමට සායනයට හැකියාව පවතින බවයි.

පුළුල් සෞඛ්‍ය සහ මානසික පරීක්ෂණවලට භාජනය වූ නිර්නාමික දායකයින් පරාසයක් එහි සිටීම පිළිබඳ යුවළ පැහැදීමට පත්වූ බව ඔවුහු පවසති.

තමන් කලාතුරකින් මත්පැන් පානය කරන සහ කිසිදා දුම් පානය නොකරන නිරෝගී පුද්ගලයෙකු ලෙස හඳුන්වා දී තිබූ ඩෙන්මාර්ක ජාතිකයෙකු වන "ෆින්" ලෙස හැඳින්වූ පරිත්‍යාගශීලියෙකු වෙත ඔවුහු ආකර්ෂණය වූහ.

Two women sit indoors on a sofa. A window behind them shows an outdoor scene with trees and rooftops in soft focus.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩෙන්මාර්කයේ ශුක්‍රාණු පරිත්‍යාගශීලියා "ෆින්" පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු තිබීම තම දරුවන්ට සැනසීමක් ගෙන දෙනු ඇතැයි බෙත් (වමේ) සහ ලෝරා (දකුණේ) බලාපොරොත්තු වූහ

ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට තමන් පෙළඹුණේ, "අන් අයට ජීවිතයක් සහ සතුට ලබා දීමට" බව ෆින් පවසා තිබෙන ඔහුගේ ම අත් අකුරින් ලියූ සටහනක් ඔවුහු දුටුවහ.

මෙම සවිස්තරාත්මක තොරතුරු ඔවුන්ගේ අනාගත දරුවන් හැදී වැඩෙන විට ඔවුන්ට සහනයක් ගෙන දෙනු ඇති බව බෙත් සහ ලෝරා බලාපොරොත්තු වූහ. "අපිට හිතුණේ අපේ දරුවන්ට ඔවුන්ගේ දායකයා කවුද යන්න පිළිබඳ යම් හැඟීමක් තිබීම ඇත්තෙන් ම වැදගත් කියලයි, මොකද ඒ ඔවුන්ගෙන් කොටසක් වන නිසා," බෙත් පවසයි.

ෆින් සහ ඔහුගේ ඩෙන්මාර්ක ඥාතීන්ට පරම්පරාවෙන් එක්සත් රාජධානියේ යුවළට සමාන ලා පැහැති ඇස් සහ දුඹුරු හිසකෙස් වැනි භෞතික ශාරීරික ලක්ෂණ තිබිණි.

"ෆින්ගේ ශුක්‍රාණු ඇණවුම් කිරීමේදී අපි සිදු කරන්න අවශ්‍ය දේවල ගැන අපි අපේ රෝගී සම්බන්ධීකාරක ජුලීගෙන් විමසුවා. එවිට ඇය කිව්වේ: වෛද්‍ය ෆර්ඩෙව්ස් ඔබ වෙනුවෙන් ඒක ඇණවුම් කරාවි කියලයි. ඒක තමයි වුණේ," ලෝරා සිහිපත් කරයි.

වෛද්‍ය ෆිර්ඩෙව්ස් උගුස් ටිප් විසින් Dogusහිදී ඔවුන්ගේ IVF ප්‍රතිකාර සිදු කළ බව යුවළ පවසති. ඔවුන් ඇය සහ ඇගේ කණ්ඩායම "හොඳ සහ මිත්‍රශීලී" පිරිසක් ලෙස විස්තර කරයි.

මාස නවයකට පසු ලෝරා ඔවුන්ගේ පළමු දරුවා වන කේට් බිහි කළා ය.

යුවළ දෙවන දරුවෙකු අපේක්ෂා කළ විට ඔවුන් නැවත එම IVF කණ්ඩායම වෙත ගොස් ෆින් නමැති දායකයා නැවත යොදා ගත හැකි දැයි විමසූහ. වෛද්‍ය ෆර්ඩෙව්ස් එම ශුක්‍රාණු නැවත ඇණවුම් කරනු ඇතැයි හොඩ්සන් විද්‍යුත් තැපෑල ඔස්සේ තහවුරු කළා ය.

මෙවර බෙත්, ජේම්ස් බිහි කළා ය.

උතුරු සයිප්‍රසයේ මෙම යුවළගේ සරුභාවය පිළිබඳ ප්‍රතිකාර සඳහා වෙනුවෙන් වන ඖෂධ, හෝටල් සහ ගුවන් ගමන් ඇතුළුව මුළු වියදම පවුම් 16,000ක් පමණ වූ අතර ඊට ෆින්ගේ ශුක්‍රාණු සඳහා ගෙවූ පවුම් 2,000 ද ඊට ඇතුළත් විය.

බෙත් සහ ලෝරා පවසන්නේ කුඩා කාලයේ සිට ම ඔවුන් දායකයින් යැයි සිතූ පුද්ගලයා පිළිබඳ දරුවන් සමග විවෘතව කතා කළ බවයි. "ඔවුන් දෙදෙනාව 'අර්ධ ඩෙන්මාර්ක' ජාතිකයන් කියලා හඳුන්වලා දුන්නා," ලෝරා පවසයි.

නමුත් ජේම්ස්ගේ කළු පැහැති ඇස්, කළු පැහැති හිසකෙස් සහ තලෙළු සම දුටු ඔවුන්ට දායකයා ෆින් නොවන බවට සැකයක් මතු කර තිබූ අතර වසර ගණනාවක සාකච්ඡාවලින් අනතුරුව බෙත් සහ ලෝරා දරුවන් දෙදෙනාට ම DNA පරීක්ෂාවක් සිදු කළ යුතු බව තීරණය කළහ.

ප්‍රතිඵල මගින් යෝජනා කරන ලද්දේ දරුවන් දෙදෙනාගෙන් කිසිවෙකු ෆින්ගේ ශුක්‍රාණුවලින් පිළිසිඳගෙන නොමැති බවයි. දරුවන් එකිනෙකාට වෙනස් ශුක්‍රාණු දායකයින්ගෙන් ලැබී ඇති බවත්, ඔවුන් එකිනෙකාට ජීව විද්‍යාත්මකව සම්බන්ධකමක් නොමැති බව ද ප්‍රතිඵල මගින් පෙන්වා දුන්නේ ය.

පරීක්ෂණ ප්‍රතිඵල හේතුවෙන් දෙමාපියන් "අතිශයින් ම කෝපයට පත් වූ" අතර දායකයන් කවුද සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් සඳහා කුමන පරීක්ෂණ සිදු කර තිබුණා ද? යන පිළිතුරු නොලැබුණු ප්‍රශ්න බොහෝමයක් ඉතිරි විය.

"අපිට දායක ෆින් ගැන පැහැදිලි චිත්‍රයක් තිබුණා, ඒ වගේ ම පවුලේ තොරතුරු සහ සෞඛ්‍ය තත්ත්වය ගැනත් අපි දැනගෙන හිටියා. නමුත් දැන් අපිට කිසි ම දෙයක් නැහැ," බෙත් පවසයි.

ෆර්ඩෙව්ස් සහ හොඩ්සන් සම්බන්ධ කර ගැනීමට බෙත් සහ ලෝරා උත්සහ කළ ද ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ප්‍රතිචාර නොදැක්වීය.

Kate looks down at newborn James being held in patterned clothing.
ඡායාරූප ශීර්ෂ වැකිය, කේට් සහ ජේම්ස්ගේ DNA ප්‍රතිඵලවලින් පෙනී ගියේ ඔවුන් එකිනෙකට වෙනස් ශුක්‍රාණු දායකයින්ට අයත් බවයි

බෙත් සහ ලෝරාට සිදු වූයේ කුමක්දැයි තහවුරු කර ගැනීමට බීබීසී පුවත් සේවය මාස ගණනාවක් ගත කළේ ය.

අපගේ විමර්ශනය අතරතුර ෆිර්ඩෙව්ස් විසින් ප්‍රතිකාර කරන ලද තවත් බ්‍රිතාන්‍ය පවුල් දෙකක් අප සොයා ගත් අතර, ඔවුන්ගේ IVF ප්‍රතිකාර අතරතුර වැරදි දායකයන් භාවිත කර ඇති බවට ඔවුහු ද සැක කළහ.

ඔවුන් ද වාණිජ වශයෙන් සිදු කර ගත හැකි DNA පරීක්ෂණ සම්පූර්ණ කර ඇති අතර ඒවා පෙන්වා දී තිබුණේ ඔවුන්ගේ සැකය නිවැරදි බවයි.

බෙත් සහ ලෝරා ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ සායනය දායක ෆින්ගේ ශුක්‍රාණු ඇණවුම් කළේ ද යන්න පිළිබඳව ය.

අප ෆර්ඩෙව්ස් සම්බන්ධ කර ගත් විට, ඇය පැවසුවේ Dogusහි ශුක්‍රාණු ඇණවුම් කිරීම සම්බන්ධයෙන් ඇයට වගකීමක් නොතිබුණු බව සහ දායක ෆින් සඳහා වූ ඉල්ලීම පිළිබඳ තොරතුරක් තමන් වෙත ලැබී නොමැති බවය.

බෙත් සහ ලෝරාගේ DNA පරීක්ෂණයේ විශ්වසනීයත්වය පිළිබඳව ද ඇය සැක පළ කළාය. වැරදි දායකයෙකු යොදා ගත් බවට "ස්ථිරව ම" නිගමනය කිරීමේ හැකියාවක් නොමැති බව ඇය පවසයි.

ෆර්ඩෙව්ස් බීබීසීයට ද පැවසුවේ "බෙත් සහ ලෝරා රෝගීන් ලෙස සිටි 2011 සහ 2014 අතර කාලය තුළ තමන් "IVF ප්‍රතිකාර සිදු නොකළ" බවය. එහෙත් එම කාලය තුළ Dogusහි වෙබ් අඩවියේ ඇය සිදු කළ ක්‍රියාපටිපාටි පිළිබඳ විස්තරාත්මක කරුණු දක්වා තිබිණි.

බෙත් සහ ලෝරාගේ ප්‍රතිකාර සඳහා වගකිව යුතු බවට ෆර්ඩෙව්ස් පවසන Dogus සායනය අප කළ ඉල්ලීම් සඳහා ප්‍රතිචාර නොදැක්වීය.

2015 වනවිට ෆර්ඩෙව්ස් සහ හොඩ්සන් Dogus වෙතින් ඉවත්ව උතුරුදිග සයිප්‍රසයේ වෙනත් සායනයක එකට එක්ව සේවය කරමින් සිටියහ.

තවදුරටත් එම ප්‍රදේශයේ සේවය නොකරන හොඩ්සන් ඇය ශුක්‍රාණු ඇණවුම ෆර්ඩෙව්ස් වෙත ලබා දුන්නේ ද යන්න පිළිබඳ බීබීසී සේවය යොමු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වා නොමැත.

බෙත්, ලෝරා සහ දරුවන් දැන් තවදුරටත් බ්‍රිතාන්‍ය අධිකරණවල පිළිගත හැකි, නිල වශයෙන් අනුමත කරන ලද DNA පරීක්ෂණ සිදු කර ඇත. මේවා තහවුරු කර තිබෙන්නේ ජේම්ස් සහ කේට් ජීව විද්‍යාත්මක වශයෙන් ඥාතීන් නොවන බව සහ ඔවුන් එක ම දායකයෙකුගේ ශුක්‍රාණු මගින් පිළිසිඳගෙන නොමැති බවයි.

පවුලේ සියලු ම පරීක්ෂණ විශ්ලේෂණය කළ ප්‍රමුඛ පෙළේ අධිකරණ වෛද්‍ය ජාන විද්‍යා විශේෂඥයෙකු අපට පැවසුවේ, දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ දායක ෆින් සමග ජීව විද්‍යාත්මකව සම්බන්ධ වීමේ හැකියාවක් නොමැති බව ය.

A group of 10 people stand together in a corridor, some wearing medical-style clothing. The group is posing with raised hands and gesture signs
ඡායාරූප ශීර්ෂ වැකිය, Dogus IVF මධ්‍යස්ථානයේ සේවයෙන් ඉවත් වූ පසු ෆර්ඩෙව්ස් (වමේ) සහ ජූලි හොඩ්සන් (දකුණේ) අඛණ්ඩව එකට තම රාජකාරි කිරීම සිදු කරගෙන ගොස් ඇත

බෙත් සහ ලෝරා මෙන් ම අපගේ විමර්ශනය තුළ සිටින වෙනත් පවුලක් ද ශුක්‍රාණු ඇණවුම් කර තිබූ බවට විශ්වාස කළ ඩෙන්මාර්කයේ පිහිටි Cryos International ශුක්‍රාණු බැංකුව සමග ද අප සම්බන්ධ විය.

"අපට ආරක්ෂක ක්‍රියාවලීන් ගොඩක් තිබෙනවා. නමුත් ඒක කවදාවත් ඔයාලට 100%ක් ම ලබාදෙන්නේ නැහැ. ඒක මනුශ්‍ය ස්වභාවය," සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඕලේ ෂෝ පවසයි. කෙසේ වෙතත්, Cryosහි වසර 45ක ඉතිහාසය තුළ මෙවැනි වරදක් කිසි දා වාර්තා වී නොමැති බව ඔහු පවසයි.

යුරෝපය පුරා සිටින සරුභාවය පිළිබඳ විශේෂඥයින් රැසක් බීබීසී පුවත් සේවය වෙත පැවසුවේ, IVF ක්‍රියාවලියකදී අහම්බෙන් වැරදි දායකයෙකු එක් වරක් යොදා ගැනීම කලාතුරකින් සිදුවූ බවයි.

කෙසේ වෙතත් අපගේ විශේෂඥයින් නිගමනය කරන්නේ එක ම වෛද්‍ය කණ්ඩායමක මැදිහත්වීමකින් මෙවැනි විශාල මට්ටමේ වැරැද්දක් එක් වතාවකට වඩා සිදු වීම "නොසලකා හැරීමක්" හෝ "වංචාවක්" විය හැකි බවය.

"රෝගීන් මෙවැනි තත්ත්වයකට පත්වීම අතිශයින් ම භයානක තත්වයක්," අනාවරණ කර ගත් කරුණු නිරීක්ෂණය කරමින් බ්‍රිතාන්‍යයේ සරුභාවය පිළිබඳ සංගමයේ වෛද්‍ය ඉපොක්‍රටීස් සාරිස් පවසයි. "එක්සත් රාජධානිය තුළදී මම මේ වගේ සිදුවීමක් කවදාවත් අහලා නෑ. ඕනෑ ම IVF ඒකකයක තියෙන්න පුළුවන් ලොකු ම බය තමයි ඩිම්බයක්, ශුක්‍රාණුවක් හෝ කලලයක් මාරු වීම."

උතුරු සයිප්‍රසය තුළ ඔවුන්ගේ ම සරුභාවය පිළිබඳ නීති පද්ධතියක් ඇති නමුත් එක්සත් රාජධානිය මෙන් නොව සායන නිරීක්ෂණය කිරීමට, ප්‍රමිතීන් පවත්වා ගැනීමට සහ අවශ්‍ය නම් බලපත්‍ර අවලංගු කිරීමට හැකියාව පවතින ස්වාධීන නියාමන ආයතනයක් ඔවුන් සතුව නොමැත.

"නීතියට අනුකූලව කටයුතු කරන සායන එය සිදු කරන්නේ හිමිකරුවන්ගේ යහපත් හෘද සාක්ෂිය තිබෙන නිසයි. නැතුව එහෙම කරන්න කියලා රජය ඔවුන්ට බල කරන්නේ නැහැ," එහි වෙසෙන නීතිඥ සහ ක්‍රියාකාරික මීනේ ආට්ලි සඳහන් කළේ ය.

නියාමනය කිරීම මිල අධික වන අතර එක්සත් රාජධානිය වැනි රටවලදී එවැනි ප්‍රතිකාර කිරීම් බොහෝ මිල අධික විය හැක. උතුරු සයිප්‍රසය සරුභාවය සඳහා සිදු කරන ප්‍රතිකාර සඳහා මෙතරම් ජනප්‍රිය ගමනාන්තක් වීම සම්බන්ධයෙන් තමන් සැක කරන එක ම හේතුව ද එය බව බ්‍රිතාන්‍යයේ සරුභාවය පිළිබඳ සංගමයේ සාරිස් පවසයි.

ඔවුන්ගේ දායකයන් ඔවුන් විශ්වාස කර සිටි පුද්ගලයන් නොවන බව සොයා ගැනීමට හැකි වූ පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව පළවන කණස්සල්ල පිළිබඳව ද අපට අසන්නට ලැබිණි.

එවැනි අනාවරණයක් ඔවුන්ට "සැලකිය යුතු බලපෑමක්" ඇති කළ හැකි බව එක්සත් රාජධානියේ 'Donor Conception Network' නම් පුණ්‍යායතනයේ නීනා බාන්ස්ලි පවසයි.

'මගේ දරුවට බොරුවක් කරන්න මට අවශ්‍ය නෑ'

බෙත් සහ ලෝරාට වඩා ඉතා ම මෑතකදී ෆර්ඩෙව්ස්ගෙන් ප්‍රතිකාර ලබාගත්, තමන්ට ද වැරදි දායකයන් ලබා දුන් බව විශ්වාස කරන තවත් බ්‍රිතාන්‍ය පවුල් දෙකක් සමග බීබීසී පුවත් සේවය සාකච්ඡා කළේ ය.

ඔවුන්ට තම අනන්‍යතාව හෙළි කිරීමට අවශ්‍ය නොවුණ නමුත් ඔවුන් ද ෆර්ඩෙව්ස් 2019දී ස්ථාපිත කළ Miracle IVF Centre මගින් ප්‍රතිකාර ලබා ගත් රෝගීහු වූහ.

පවුල් දෙකට ම දරුවන් බිහි කිරීම සඳහා ඩිම්බ දායකයන් අවශ්‍ය වූ අතර ඔවුන් ලද ඩිම්බ, ඔවුන් තෝරා ගෙන තිබුණු ඒවා නොවන බවට ඔවුහු සැක කළහ. එතැන් සිට සිදු කරන ලද DNA පරීක්ෂණ මගින් ඔවුන්ගේ එම සැකය ස්ථිර වන බව පෙනෙන්නට විය.

"මට මම වගේ ම දරුවෙක් ඉන්න ඕන කියලා මිනිස්සු හිතන්න ඕන කියන එක මට අවශ්‍ය නැහැ, මේ කියන්නේ ඒ වගේ දෙයක් ගැන නෙමෙයි. එයාලා කොහෙන් ද ආවේ කියන එක ගැන එයාලට බොරු කරන්න මට ඕනේ නෑ," කැත්‍රින් ලෙස අප විසින් ආමන්ත්‍රණය කරනු ලබන එක් කාන්තාවක් පැවසීය.

තමන්ව නොමග යවා ඇති බවට මෙම පවුල් දෙකට හැඟෙන බව අප ෆර්ඩෙව්ස් වෙත පැවසූ අවස්ථාවේදී ඇය අපට පැවසුවේ, ඩිම්බ දායකයන් තෝරා ගැනීම "සම්පූර්ණයෙන් ම" Miracle IVF Centre මගින් සිදු කළ බවයි.

ඇගේ සායනය රෝගීන්ට "නිශ්චිත පුද්ගලයෙකු" පිළිබද විස්තර කරන තොරතුරු ඩිම්බ පරිත්‍යාගශීලීන්ට ලබා නොදෙන බවත්, එය කිසි විටෙකත් පරිත්‍යාගශීලියාගේ වාර්ගිකත්වය පිළිබඳ සහතිකයක් කිසි දිනක ලබා නොදෙන බවත් ඇය පැවසුවාය.

ෆර්ඩෙව්ස් පවසන පරිදි මෙම තොරතුරු ප්‍රතිකාරයට පෙර සියලු ම රෝගීන් අත්සන් කළ එකඟතා පත්‍රිකාවල සඳහන් කර ඇති අතර ඒවා "විවෘතව සන්නිවේදනය" කර ඇත.

කෙසේ වෙතත්, අප සමග අදහස් දැක්වූ පවුල් දෙක පැවසුවේ ඔවුන් නිශ්චිත පරිත්‍යාගශීලියෙකු තෝරාගෙන සිටි බවත් අවසාන තේරීම සායනය විසින් සිදු කරනු ලබන බවට ඔවුන්ට කිසි විටෙකත් පැහැදිලි කර නොදුන් බවය.

Miracle IVF Centre මගින් කැත්‍රින් සහ අනෙක් පවුලකට ලබා දුන් ඩිම්බ දායකයින්ගේ තොරතුරු බීබීසීය විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති අතර, ඒවා සියල්ල ම තනි කාන්තාවක ලෙස පෙන්වන බව පෙනෙන්නට තිබේ.

කැත්‍රින් පවසන්නේ ඇය තම දරුවාට කොන්දේසි විරහිතව ආදරය කරන නමුත් ඇය විසින් තෝරා ගනු ලැබූ දායකයා යොදා නොගන්නා බවට සම්පූර්ණයෙන් දැනුවත් වී සිටියේ නම් තමන් IVF ප්‍රතිකාරය සිදු නොකර සිටිමට තීරණය කරන බවයි.

ෆර්ඩෙව්ස් අපට පැවසුවේ, ඇය Miracle IVF Centreහිදී සිදු කළ සියලු ම ප්‍රතිකාර නීති රීතිවලට අනුකූලව සිදු කළ බව සහ රෝගීන්ගේ රහස්‍යභාවය නිසා අපගේ යොමු කළ සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඇයට හැකියාව නොමැති බවයි.

'අපි තවමත් පවුලක්'

Laura, James, Beth and Kate all stand side by side with their backs to the camera, looking out toward a calm sea from a shoreline.
ඡායාරූප ශීර්ෂ වැකිය, "ලේ ඥාතිත්වයක් නැති වුණත් අපි තවමත් එක පවුලක්," කේට් පවසයි

ෆින් ඔවුන්ගේ දායකයා නොවීමේ හැකියාව සම්බන්ධයෙන් බෙත් සහ ලෝරා ඔවුන්ගේ දරුවන් සමග කතා කර මේ වන විට වසර දෙකක් පමණ ගත වී ඇත.

ජේම්ස් තවමත් ඔහුගේ පවුල අනාවරණ කර ගත් දේ පිළිගැනීමට උත්සහ කරමින් සිටියි.

"කෙනෙක් ගැන යම් දෙයක් කියලා ඊට පස්සේ ඒක නෙවෙයි කියලා කියන්න ඔයාලට බැහැ. ඒක නරකයි, අනන්‍යතාව තමයි ප්‍රධාන ම දේ. පුද්ගලයෙකු විදිහට ඔයා කවුද කියන එක තීරණය කරන්නේ ඒකෙන්," ඔහු පවසයි.

තමන් ජීව විද්‍යාත්මකව ඥාතීන් නොවන බව දරුවන් මේ වනවිට දන්නා නමුත් එය ඔවුන් එකිනෙකා වෙත තිබෙන ආදරයේ වෙනසක් නොමැත.

"අපි හැමෝම හැදුණේ වැඩුණේ එකට, අපේ අම්මලා තමයි අපව ඇති දැඩි කළේ, ලේවලින් නොවුණත් අපි තාමත් එක ම පවුලක්," කේට් පවසයි.

"අපිට ඉන්නේ පුදුමාකාර දරුවන් දෙන්නෙක්, දවසක හැමෝම හොඳින් ඉඳියි," බෙත් සහ ලෝරා පවසති.