අස්වැසුම දීමනාව 'වැරදීමකින්' දෙවරක් ගෙවා ඇතැයි මුදල් අමාත්‍යංශය පිළිගනී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට අප්‍රේල් මාසයට අදාළ දීමනාව දෙවරක් ගෙවා ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පිළිගෙන තිබේ.
එම අමාත්‍යංශයේ ශුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදරගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 'අතපසුවීමකින් slip file එකක් දෙවරක් උඩුගත වීමෙන්' මෙම දෝෂය සිදුවී ඇති බව ය.
'සේවයේ අවශ්‍යතාව මත තොරතුරු තාක්ෂණ අංශය සහ මූල්‍ය අංශය ඉතාමත් කෙටි කාලයක් තුළ අමතර විශේෂ දීමනා ගෙවීමට අදාළ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17කට ආසන්න ලේඛනයක් සකස් කරන ලදී. එය slip ලිපිගොනු 90,000ක ධාරිතා මට්ටමින් කාණ්ඩ කර ශුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ බැංකු ගිණුම් ක්‍රියාත්මක වන ලංකා බැංකුවට උඩුගත කරනු ලැබී ය. එහිදී අතපසුවීමකින් slip file එකක් දෙවරක් උඩුගත (upload) වී ඇත. එහිදී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ ද්විත්ව ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වූ අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ ශුභසාධක ප්රතිලාභ මණ්ඩලය ද්විත්ව ගෙවීම slip file සඳහා අදාළ ගෙවීම් අත්හිටුවා එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට ආපසු බැර කරන ලෙස බැංකුව වෙත දන්වන ලදී. අප්‍රේල් ද්විත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් ලබා ගැනීම හේතුවෙන් අය කර ගැනීමට නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759කගේ රුපියල් 248,795, 000ක මුදල් 2026 මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අය කර ගැනීමට කටයුතු සැලසුම් කර ඇත,' යනුවෙන් අදාළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, අදාළ මුදල් අය කර ගැනීමට හැකි වනු ඇතැයි එම මණ්ඩලය විශ්වාසය පළ කරයි.
අස්වැසුම ද්විත්ව ගෙවීම ගැන පාර්ලිමේන්තු විමර්ශනයක් ඉල්ලයි
කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් Free Lawyers සංවිධානය සඳහන් කර ඇත්තේ, ශුභසාධක ප්රතිලාභ මණ්ඩලය හරහා රු. ලක්ෂ 5000කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවා ඇති බව ය.
දිස්ත්‍රික්ක කිහිපයක අස්වැසුම ප්‍රතිලාභීන් වෙත එලෙස ද්විත්ව ගෙවීමක් සිදුකර ඇති බව පෙන්වා දෙන එම සංවිධානය, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
"මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්වීම හා සමාන ආකාරයකට අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/වැඩිපුර මුදල් ගෙවීම රාජ්‍ය මූල්‍ය කලමනාකරණයේ අද ඇති වී තිබෙන බිඳවැටීම, වියවුල හා වගකීම් විරහිතභාවය මනාව පිළිබිඹු වන්නකි." Free Lawyers සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
'අපරාධයකි, දූෂණයකි, වංචාවකි'
2026 අප්‍රේල් මස දාහත් ලක්ෂ තිස් තුන් දහසකට ආසන්න පවුල් සංඛ්‍යාවකට අස්වැසුම ප්රතිලාභ ගෙවීමට නියමිතව තිබූ බවත්, ඉන් පිරිසකට අස්වැසුම ප්රතිලාභ දෙවරක් ගෙවා ඇති බවත් Free Lawyers සංවිධානය කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.
එමෙන් ම, තවත් පිරිසකට රජය විසින් බෝනස් දීමනාවක් ලෙස නියමිත මුදලට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බව ද එම සංවිධානය සඳහන් කරයි.
"මහා භාණ්ඩාගාරය නිකුත් කළ, ශුභසාධක ප්රතිලාභ මණ්ඩලය මගින් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත යොමු කරනු ලැබූ මුදල රු. ලක්ෂ 5000කට මදක් අඩු ප්රමාණයකි. රජයේ මුදල් ආයතනික මුදල් රෙගුලාසිවලට පිටින්, කිසිදු වගකීමක් නොමැතිව, කිසිදු රාජ්‍ය මූල්‍ය පාලනයක් නොමැතිව, ආයතනගත ක්‍රමවේදයන් මගහරිමින් සිදුව ඇත. සංවරණ හා තුලන පද්ධතිය Checks and Balances ක්‍රමවේදයකින් තොරව සිදුවන රාජ්‍ය මුදල් පරිහණය අපරාධයකි/දුෂණයකි/වංචාවකි," යනුවෙන් නිවේදනයේ දක්වා ඇත.
පාර්ලිමේන්තුවෙන් උත්තර ඉල්ලන ප්‍රශ්න මොනවා ද?
එබැවින්, මුදල් බලය හිමි පාර්ලිමේන්තුව පිළිතුරු ලබා දිය යුතු බව පවසමින් Free Lawyers සංවිධානය විසින් කතානායකවරයා වෙත යවන ලිපියේ ප්‍රශ්න 10ක් යොමු කර ඇති ඒවා පහත පරිදි වේ.
- අප්‍රේල් මාසයේ මුදල් ලැබිය යුතුව තිබූ පවුල් ලක්ෂ 18කට ආසන්න සංඛ්‍යාවෙන් කොපමණ සංඛ්‍යාවකට නියමිත ප්‍රමාණයට වැඩි මුදලක්/ද්විත්ව ගෙවීම් ලැබී තිබේ ද?
- කෑගල්ල, මොනරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ද්විත්ව ගෙවීම් සිදු කර ඇති ප්‍රමාණය පිළිබඳ මේ දක්වා විමර්ශනයක් ආරම්භ කර තිබේ ද?
- දෙවරක් මුදල් (Double Payment) නියමිත ප්‍රමාණයට වැඩි මුදලක් (Additional Payment/Extra Payment) ගෙවනු ලැබ ඇති මුළු ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව කොපමණ ද
- අස්වැසුම ප්‍රතිලාභීන් වෙත නියමිත ප්‍රමාණයට වැඩි කිසිදු සොයාබැලීමකින් තොරව, වගකීම් විරහිත ලෙස නිකුත් කරනු ලැබ ඇති මුළු මුදල් ප්‍රමාණය කොපමණ ද?
- ශුභසාධක මණ්ඩලයේ මුල්‍ය බලතල පැවරීමේ ක්‍රමවේදය/කාර්ය පටිපාටියට පිටින් මෙම මුදල් ගෙවීම සිදු කළ නිලධාරීන් කවුද?
- ශුභසාධක මණ්ඩලයේ මණ්ඩලයේ කටයුතු සඳහා දේශපාලන පත්වීමක් ලෙස අනුයුක්ත කර ඇති නිලධාරීයා/නිලධාරීන්/කොමසාරිවරයා කවුද?
- දේශපාලන පත්වීම් ලැබ මේ සා විශාල මුදලක් නාස්තිය/අයථා පරිහණය/දූෂණය සිදු කළ සිදුවීම පිළිබඳ මේ වන විට විධිමත් අධිකාරියක් යටතේ මුලික විමර්ශනයක් පවත්වා තිබේ ද?
- මෙම කාර්යයට සම්බන්ධ වූ නිලධාරීන් වෙත මූල්‍ය රෙගුලාසි යටතේ මූල්‍ය බලතල පැවරීමක් සිදු කර තිබේ ද? එසේ බලතල පැවරූ නිලධාරියා/බල අධිකාරිය කවුද?
- භාණ්ඩාගාරය මෙම අතිරේක මුදල් නිකුත් කිරීම පිළිබඳ මුලික විමර්ශනයක් සිදු කර තිබේ ද? එසේ නම් එයට වගකිව යුතු භාණ්ඩාගාර නිලධාරීන් හදුනාගෙන තිබේ ද?
- එසේ නොවේ නම් මෙය මෙයත් තවත් හැකර් ප්‍රහාරයක් ද? අත්වැරදීමක් ද? එසේත් නැතිනම් මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරයට අත්දැකීම් රහිත, කාර්යාලීය ක්‍රමවේදයන් පිළිබඳ කිසිදු දැනුමක් අවබෝධයක් නොමැති දේශපාලන පත්වීම් සිදු කිරීමේ ප්‍රතිඑලයක් ද?
අවුරුදු මාසයේ වැඩි කළ අස්වැසුම දීමනාව
උත්සවය සමය සලකා අප්‍රේල් මස අස්වැසුම දීමනාව රජය විසින් ඉහළ දමනු ලැබූ අතර ඒ අනුව රුපියල් 17500 අස්වැසුම් මුදල රුපියල් 7500කින් ඉහළ දමනු ලැබූ අතර එම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේ දී රුපියල් 25000ක් ගෙවනු ලැබී ය.
ඊට අමතරව රුපියල් 10000 අස්වැසුම් මුදල රුපියල් 5000කින් ඉහළ දමා රුපියල් 15000ක් ලෙසත් රුපියල් 5000 අස්වැසුම් මුදල රුපියල් 2500කින් ඉහළ දමා රුපියල් 7500ක් ලෙස වැඩි කර අප්‍රේල් මාසයට පමණක් ප්රතිලාභ ගෙවනු ලැබී ය.
අප්‍රේල් මාසයට පමණක් ගෙවනු ලබන එම දීමනාව ගෙවීමට රජය රුපියල් මිලියන 8500ක අතිරේක මුදලක් වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබිණි.
දෙවතාවක් ගෙවීම සිදුවුණේ කොහොම ද?
අප්‍රේල් මාසයේ අස්වැසුම ගෙවිමේදී සිදුව ඇතැයි චෝදනා ලබන අක්රමිකතාව පිළිබඳව බීබීසී සිංහල සේවය සුබසාධන ප්රතිලාභ මණ්ඩයේ සභාපති නිමල් කොටවලගෙදරගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු අප්‍රේල් මස ප්රතිලාභ ගෙවීමේදී සිදුව ඇති අක්රමිකතාව සහ එය සිදුවීමට බලපෑ හේතු පැහැදිලි කරනු ලැබීය.
"අපි අප්‍රේල් මාසයේ ගෙවීම අවුරුද්දට කලින්, පද්ධතිය හරහානේ අපේ ගෙවීම් කරන්නේ. අපේ ඩිජිටල් පරිගණක පද්ධතිය හරහා තමයි ගෙවීම් කරන්නේ. මිනිස්සුන්ට අවුරුද්දට ඕන නිසා 10 වෙනිදාට කලින් ගෙවිම් කළා. ඒ අතරතුර ජනාධිපතිතුමා නැවත වැඩි කිරීමක් කළානේ අවුරුදුවලට අදාළව. ඒක වෙනකොට, එක මාසයකට පද්ධතිය දෙවරක් ක්‍රියාත්මක කරන්න බැරි නිසා අපේ නිලධාරීන්ට සිද්ධ වුණා ලිස්ට් එක වෙනම ම පද්ධතියෙන් අරගෙන බැංකුවලට යවන්න. ඒ කරන ක්‍රියාවලිය ලක්ෂ 10කට වගේ පවුල් සංඛ්‍යාවක්නේ. මේක අනූ දාහේ කාණ්ඩවලට කඩලා බැංකුවලට යවනකොට එක ලිස්ට් එකක් දෙවතාවක් අප්ලෝඩ් වෙලා තියෙනවා."
වැඩිපුර ලබා දුන් මුදල අය කර ගන්නේ කොහොම ද?
"මේක නිලධාරීන් සම්පූර්ණයෙන් ම දවසක් තුළ කරපු වැඩක්. ජනාධිපතිතුමා 09 වෙනිදා ඒක ප්‍රකාශ කරනවත් එක්ක ම 08 වෙනි දා වෙනකොට කැබිනට් පේපර් එක ආවා 09 වෙනිදා වෙනකොට අපේ නිලධාරීන් සම්පූර්ණයෙන් ම ලිස්ට් එක ආපහු අප්ලෝඩ් කළා. ඒක සිස්ටම් එකෙන් බාහිරින් අරගෙන තමයි කරන්නේ. එක ලිස්ට් එකක් අප්ලෝඩ් වෙලා තියෙනවා දෙවතාවක්. ඒක දැන් රිකවර් කරන්න කටයුතු කරළා තියෙනවා. දැනටමත් සෑහෙන ප්‍රමාණයක් ගෙවීම් වෙලා නැතුව බැංකුවෙන් ආපහු අය කරගෙන තියෙනවා," යැයි නිමල් කොටවෙලගෙදර කියා සිටියේය.
වැඩිපුර දීමනා ඉතා සුළු ප්‍රමාණයක් පමනක් ප්‍රතිලාභීන් බැංකු ගිණුම්වලින් ලබාගෙන ඇති බවත් එය මැයි මාසයේ දීමනාවෙන් බැංකු විසින් නැවත අය කර දෙනු ඇතැයි ශුභසාධන ප්රතිලාභ මණ්ඩයේ සභාපති නිමල් කොටවලගෙදර විශ්වාසය පළ කළේය.
"මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නේ බොහොම සුලු ප්‍රමාණයක්. ඒක අපි මැයි මාසේ පේමන්ට්වලින් අය කරලා දෙයි බැංකුවලින්. එක අපි දැනුම් දීලා තියෙන්නේ දැනටමත්."
සිද්ධි රැසක්
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 2කට වැඩි මුදලක් වෙනත් පාර්ශවයකට ගෙවීම පිළිබඳව අනාවරණයෙන් වීමෙන් පසුව රජය විසින් මුදල් ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතා කිහිපයක් ම අනාවරණය විය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දිනක මාධ්‍ය වෙත කියා සිටියේ තැපැල් දෙපාර්තුමේන්තුව ද එලෙස ඇමෙරිකානු තැපැල් දෙපාර්තුමේන්තුවට ගෙවිය යුතු ඩෙලර් ලක්ෂ 6කට වැඩි මුදලක් වෙනත් පාර්ශවයකට ගෙවා ඇති බව ය.
එමෙන් ම, මාර්ග අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවීමක් වැනි රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ විසින් මුදල් ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතා කිහිපයක් පසුගිය දිනවලදී අනාවරණය විය.

































