නව බදු බලපෑමෙන් රථවාහන මිල ඉහළට: ඔබේ වාහන සිහිනයට කුමක් සිදු වෙයි ද?

වාහන විකිණීමට තබා ඇති ස්ථානයක් පසුකර යන කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 6

"මම අලුත් වාහනයක් ගන්නේ නැතිව ආපහු යූස් කරපු වාහනයක් ම ගත්තා. ඒ වෙනකොටත් යූස් කරපු වාහනවලත් ගණන් වැඩි වෙලා තිබ්බේ. අපි ආණ්ඩුවට ටැක්ස් ගෙව්වත් අපිට අවශ්‍ය විදිහට වාහනයක් මිල දී ගන්න විදිහක් නැහැ මේ තියෙන තත්ත්වය එක්ක," අලුතින් වාහනයක් මිල දී ගැනීමට යාමේදී මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් තරුණයෙක් මෙලෙස බීබීසී සිංහල වෙත සිය අත්දැකීම විස්තර කළේ ය.

රුපියල අවප්‍රමාණය වීම සහ ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම පාලනය කිරීමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් මෙරට වාහන මිල නැවත වරක් ඉහළ අගයක් ගැනීම නිසා පාරිභෝගිකයින් දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටින බව නිරීක්ෂණය වේ.

මේ අතර, වාහන ආනයනකරුවන් පවසන්නේ, රජය විසින් ගනු ලබන මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් තමන් ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටින බව ය.

'සේල්වල තියෙන වාහනත් ගණන් වැඩි කළා'

තමන් භාවිත කරමින් සිටි රථය විකුණා නව වාහනයක් මිල දී ගැනීමට බලාපොරොත්තු වූ 31 හැවිරිදි වියේ පසුවන කනිෂ්ක (සත්‍ය නම නොවේ) බීබීසී සිංහල වෙත පැවසුවේ, වාහන සඳහා වන රේගු බදු සඳහා රජය බදු පැනවීම 50%කින් ඉහළ නැංවීම හේතුවෙන් තමන්ට අලුත් වාහනයක් මිල දී ගැනීමට නොහැකි වූ බව ය.

'මම වාහනය විකුණන්න හැදුවේ 50% ටැක්ස් එක පනවන්න කලින්. මම දැනන් හිටියේ නැහැ එහෙම දෙයක් වෙන්න යනවා කියලා. මගේ වාහනය විකුණනවා කියලා ඇඩ් එක දැම්මට පස්සේ ගොඩක් දෙනෙක් වාහනය ගන්න කතා කළා. පස්සේ එක්කෙනෙක් ඇවිල්ලා වාහනේට ඇඩ්වාන්ස් කරලා ඊට පහුවෙනිද ම වාහනේ ක්ලියර් කර ගත්තා. මේක හරියට ම වුණේ කස්ටම් ඩියුටිවලට 50%ක සර්චාර්ජ එක එන්න දවසකට හෝ දෙකකට කලින්," ඔහු පැවසීය.

මේ අතර, රජය වාහන ආනයනය කිරීමේදී පනවා තිබෙන රේගු බදු සඳහා වූ 50%ක බදු ඉහළ දැමීමට මුවා වී බොහෝ වාහන සේල් හිමියන් ඊට පෙර මෙරටට ගෙන්වා තිබූ වාහනවල මිල ගණන් ඉහළ දමා තිබූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

"මම වාහනය විකුණන්න දැම්මේ බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ගන්න. මගේ අයිඩියා එක වුණේ Raize කියන වාහනය ගන්න. ඒකෙ හයිබ්‍රිඩ් එක තමයි බැලුවේ. මම වාහනය බලද්දී සාමාන්‍යයෙන් මාර්කට් එකේ ප්‍රයිස් එක තිබුණේ ලක්ෂ 125 -135 අතර ගාණක්. පස්සේ මම සේල් එකක තිබ්බ Raize වර්ගයේ වාහනයකට ඇඩ්වාන්ස් කරන්න කියලා හිතාගෙන හිටියේ."

"ඒත් මේ ටැක්ස් එකත් එක්ක සේල්වල තිබුණ වාහනවල පවා මිල ගණන් ලක්ෂ 10-12 අතර ගණන් වැඩි කළා එක පාර ම. මේකේ වාසිය රජයට නෙමෙයි වාහන සේල් කරන අය යි අර ගත්තේ. පස්සේ මම වාහනයක් බලපු සේල් එකකින් කිව්වා මම බලද්දී තිබ්බ ගාණට වඩා වැඩි ගාණට දැන් ඒ වාහනය ඉල්ලනවා ඒ නිසා කලින් පොරොන්දු වුණ ගාණට වාහනය දෙන්න බැහැ කියලා. මේ අය LC ඕපන් කරලා ලංකාවට ගෙන්නලා තිබ්බ වාහනවල මිලත් වැඩි කරලා තිබ්බා."

"පස්සේ මම අලුත් වාහනයක් ගන්නේ නැතිව යූස් කරපු වාහනයක් ගත්තේ. ඒ වෙනකොට යූස් කරපු වාහනවල ගණන් පවා වැඩි වෙලා තිබ්බේ. අපි ආණ්ඩුවට ටැක්ස් ගෙව්වත් අපිට අවශ්‍ය විදිහට වාහනයක් මිල දී ගන්න විදිහක් නැහැ මේ තියෙන තත්ත්වය එක්ක," ඔහු වැඩිදුරටත් පැවසීය.

'වාහනයක් මිල දී ගන්න එක හීනයක් වෙලා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර වාහන සඳහා පනවන ලද මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් Reddit සමාජ මාධ්‍යයේ පළකර තිබූ සටහනකට ප්‍රතිචාර දක්වා තිබූ බොහෝ දෙනෙකු සඳහන් කර තිබුණේ, රට තුළ පවතින ආර්ථික තත්ත්වය මත මධ්‍යම පන්තික ජනතාවට වාහනයක් මිල දී ගැනීමට අවස්ථාව අහිමි වී ඇති බව ය.

"සාමාන්‍ය ආදායමක් තියෙන ඕනෑ ම කෙනෙකුට කාර් එකක් දැරිය හැකි මිලකට ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. කාර් එකක් මිල දී ගැනීම ලංකාවේ සුඛෝපභෝගී දෙයක් වෙලා. මුදලේ වටිනාකමට සාපේක්ෂව ඒක කොහෙත්ම වටින්නේ නැහැ. අපි ඉගෙන ගත්ත ක්ෂේත්‍රයට හොඳ රැකියාවක් හොයාගන්නවත් බැහැ. ඒ වගේ ම සමහර අය ලංකාවේ ඉපදීම ආශීර්වාදයක් වගේ රඟපානවා. මේ රට මධ්‍යම පන්තිකයෙකුට ජීවත් වෙන්න සුදුසු තැනක් නෙවෙයි. ධනවත් ම අයට විතරයි ජීවත් වෙන්න පුළුවන්," එක් පරිශීලකයෙකු එලෙස අදහස් දක්වා තිබිණි.

තවත් Reddit පරිශීලකයෙකු සටහන් කර තිබුණේ, සියලු උත්සහයන් දැරුව ද මූලික මිනිස් අවශ්‍යතාවක් සපුරා ගැනීමට නොහැකිවීම ගැන තමන්ට ඇත්තේ තරහක් බව ය.

"මෙහෙ ඉපදුණු එක ගැන මට මගේ ම හිතේ තරහක් තියෙනවා. ඔයා කොච්චර උත්සහ කළත්, ඔයාට මූලික මිනිස් අවශ්‍යතාවත් සපුරාගන්න බෑ," ඔහු එලෙස අදහස් දක්වා තිබිණි.

Reddit සමාජ මාධ්‍යයේ වාහන මිල සම්බන්ධයෙන් පලව තිබු පෝස්ටුවකට අදහස් පළකර තිබු පරිශීලකයෙක්

ඡායාරූප මූලාශ්‍රය, Reddit

ඡායාරූප ශීර්ෂ වැකිය, "සාමාන්‍ය ආදායමක් තියෙන ඕනෑ ම කෙනෙකුට කාර් එකක් දැරිය හැකි මිලකට ලබා ගන්න පුළුවන් වෙන්න ඕන."

'මිනිස්සු දැන් බයෙන් වගේ වාහන ගන්නවා'

මේ අතර බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ වාහන අලෙවිකරුවෙකු වූ තුෂාර පෙරමුණ පැවසුවේ, අලුත් වාහන මෙන් ම පාවිච්චි කළ වාහන වල මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ය.

"රජයෙන් ටැක්ස් එක වැඩි කළාට පස්සේ අලුතෙන් එන වාහන විතරක් නෙමෙයි දැන් මාර්කට් එකේ තියෙන වාහනවල මිල ගණන් සාමාන්‍යයෙන් ලක්ෂ 10-15 අතර ගාණකින් වැඩි වෙලා තියෙනවා. වැගන් ආර් වාහනයක් ලක්ෂ 10කින් වැඩි වෙලා තියෙනවා. 2018 රෙජිස්ටර් වාහනයක් විකුණුවේ ලක්ෂ 68 -70 අතර මිලකට. නමුත් දැන් ඒක ඒ වාහනයේ විකිණුම් මිල ලක්ෂ 80ක් විතර වෙනවා.

2023 කස්ටම් Z වර්ගයේ වැගන් ආර් රථයක් ලක්ෂ 79ට විකිණුවේ. දැන් රෙජිස්ටර් කරපු වාහන පවා දැන් විකුණන්නේ ලක්ෂ 85 -90 අතර ගණන්වලට. දැන් පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා මහ බැංකුවෙන් වාහනවලට ලීසිං දෙන එක සීයට 40ක් කරලා තියෙන නිසා. එහෙම වුණොත් වාහන ගන්න එක ඉස්සරහට ටිකක් අඩු වෙයි කියලා හිතෙනවා. ඒ වුණාට අදත් අපෙන් වාහන දෙකක් ගන්න ඇඩ්වාන්ස් පේමන්ට් කළා කස්ටමර්ස්ලා. මොක ද මිනිස්සුන් දැන් බයෙන් වගේ වාහන ගන්නවා," ඔහු පැවසීය.

ලියාපදිංචි කළ වාහන අලෙවි කිරීමට තබා ඇති ස්ථානයක නිල් පැහැති ටීෂර්ට් එකක් ඇදගෙන සිටින පුද්ගලයෙකු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "අලුතෙන් එන වාහන විතරක් නෙමෙයි දැන් මාර්කට් එකේ තියෙන වාහනවලත් මිල ගණන් සාමාන්‍යයෙන් ලක්ෂ 10-15 අතර වැඩි වෙලා තියෙනවා."

මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

වාහන මිල දී ගැනීම සඳහා ණය ලබා ගැනීම අධෛර්යයට පත් කිරීමේ අරමුණින් වාහනයක වටිනාකමින් ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව 40%ක් දක්වා අඩු කිරීම බරපතළ ගැටලුවක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් කුලතුංග බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ ය.

"රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අරන් තියෙන මේ තීරණ වාහන වෙළෙඳපොළට විශාල වශයෙන් බලපානවා. මොක ද කෙනෙක්ට සීයට 60ක ප්‍රමාණයක මුදල් දාලා සීයට 40ක ණයක් අරන් වාහනයක් ගන්න බැහැ. මොක ද ලංකාව කියන්නේ ගොඩක් ලොකු ධනවතුන් ඉන්න රටක් නෙමෙයි. මේ රටේ සාමාන්‍ය මිනිස්සු බ්ලෙන්ඩර් එකක් TV එකක් වුණත් ගන්නේ පහසු ගෙවීමේ ක්‍රමයට. ගොඩක් අඩු ආදායම්ලාභී ජනතාව ඉන්නේ. ව්‍යාපාරිකයෝ ගත්තත් එයාලගේ ව්‍යාපාරවලට මුදල් යොදවලා තියෙන්නේ. වාහනයක් ගන්න ගියා ම එයාලගේ ව්‍යාපාර කර ගන්න බැරි වෙනවා. සීයට 40ක් කියන තීන්දුය හරි ම ආසාධාරණ යි. අඩු ම වශයෙන් සීයට 50-50ක් වගේ තිබ්බ නම් යම් සාධාරණයක් තියෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.

මේ අතර පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ වාහන සඳහා ලීසිං සහ රත්‍රන් සඳහා ලබා දෙන ණය වටිනාකම් සඳහා සීමාවන් පැනවූයේ මුල්‍ය ආයතන මෙන් ම ණය ගන්නා පුද්ගලයින් ද ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස බව ය.

"මෝටර් රථ ණය සම්බන්ධයෙන් ගත්ත ම විනිමය අනුපාතයට මූල්‍ය ආයතනවල වාහන අලුතෙන් මිල දී ගන්නකොට ණයක් ගන්නකොට බදු පනවපු නිසා වෙළෙඳපොළේ කෘත්‍රිමව වාහන මිල වැඩි වෙන්න පුළුවන්. ඒ මිලට බැංකුවලින් ණය ගත්ත ම ණය ගත්ත පුද්ගලයාට අනවශ්‍ය ණය බරක් ඇති වෙන්න පුළුවන්. ඒක ණය ගත්ත පුද්ගලයා වගේ ම බැංකුවලටත් අවදානමක් ඇති වෙන්නේ පුළුවන්. ඒ නිස යි ආරක්‍ෂිත පියවරක් විදිහට වාහනවලට ලබා දෙන ලීසිං එක සීයට 40ක උපරිම සීමාවටත්, රත්‍රන්වලට ලබා දෙන උපරිම මිල සීයට 70ක උපරිමයකටත් යටත් කරලා තියෙන්නේ," මහ බැංකු අධිපතිවරයා පැවසීය.