රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු මොනවා ද?

US ඩොලර් නෝට්ටු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පවතින අතර ගත වූ සති කිහිපය තුළදී රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල (මැයි මස 21) ශ්‍රී ලංකා රුපියල් 354.25ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇති විදේශ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ අගය පසුගිය මාර්තු මාසයේ සිට ක්‍රමයෙන් ඉහළ යෑම ආරම්භ වී ඇති බව පෙන්නුම් කරයි.

ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ ගිය අයුරු

මෙම වසරේ ආරම්භයේදී ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 309.98ක් ලෙස සටහන්ව තිබිණි. කෙසේ වුව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ක්‍රමයෙන් ඉහළ යාම පසුගිය මාර්තු මස මුදදී ආරම්භ වී ඇති බව නිරීක්ෂණය වෙයි.

ඒ අනුව, මාර්තු 03 වන දා සිට ඇමෙරිකානු ඩොලරයේ අගය ක්‍රමයෙන් ඉහළ යාම ආරම්භ වූ අතර, එදින ඩොලරයේ අගය රුපියල් 310.29ක් ලෙස සටහන්ව තිබිණි.

පෙබරවාරි මස 28 වන දා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භ කර තිබිණි. එම කාලසීමාව තුළ විනිමය අනුපාත අගයන් ක්‍රමයෙන් ඉහළ යමින් පැවති අතර, මාර්තු මාසය අවසානය වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 315.19ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

අප්‍රේල් මාසය අවසානය වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 319.34ක් ලෙස පැවති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් නිරීක්ෂණය වේ.

කෙසේ වුව ද මැයි 21 වන දා ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 354.03ක් ලෙස පැවති අතර මෙරට ඇතැම් වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 354.25ක් ලෙස සටහන් විය.

'රුපියල 4.8%කින් අවප්‍රමාණය වෙලා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.8%කින් අවප්‍රමාණය වී ඇති බව ය.

"විශේෂයෙන් 2026 වසර තුළදී නැගී එන පීඩනය සහ ඉහළ යන ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය සහ වෙනත් විදේශ මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ආරම්භයේ සිට ම අඛණ්ඩව මාස දෙකක් තුළදී මාසිකව අතිප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මැද පෙරදිග ගැටුම් ආරම්භ වීමෙන් පසුව විදේශීය අංශයේ නැගී එන පීඩනයන් නිසා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 4.8%කින් අවප්‍රමාණය වෙලා තියෙනවා.

කලාපයේ අනිත් රටවල මුදල් ඒකක ඊටත් වඩා අවප්‍රමාණය වෙලා තියෙනවා. මේ යුද තත්ත්වය තුළදී අත්පත් කරගත්තු තත්ත්වයේදී අනිකුත් විදේශ මුදල් ඒකකයන්ට සාපේක්ෂව ඩොලරය අධිප්‍රමාණය වෙලා තියෙනවා. ඒ නිසයි, කලාපයේ අනිකුත් රටවලට සාපේක්ෂව අපේ 4.8%ක අවප්‍රමණයක් තියෙන්නේ. ගෝලීය අවිනිශ්චිතතා ඉහළ යෑම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ අවදානම් නොගැනීමේ ප්‍රවණතාව ඉහළ යෑම නිසා මැද පෙරදිග යුද ගැටුම් නිසා ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙලා තියෙනවා.

ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවට බොරතෙල් සහ ගෑස් ආනයන වියදම් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේ ම යුද ගැටුම් හේතුවෙන් සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද එය බාධාවක් වී තිබෙනවා," නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඩොලරයේ අගය ඉහළ ගියේ ඇයි ?

ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් ලෙස මෙරට වෙළෙඳපොළේ ඩොලර් හිඟවීම සහ රුපියල් වැඩිවීම හේතුවක් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි. බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ඇමෙරිකානු ඩොලර් හිඟයක් පවතින බව ය.

"සාමාන්‍යයෙන් විනිමය අනුපාතිකය කියලා කියන්නේ අපි රුපියල් දීලා ඩොලර් ගන්න ගියොත් ගෙවන්න ඕන මිල. එතකොට ඒ මිල තීරණය වෙනවා කරුණු දෙකක් මත. පළමු එක වෙළෙඳපොළේ ඩොලර් තියෙන ප්‍රමාණය අනුව මිල තීරණය වෙනවා. එතකොට වෙළෙඳපොළේ ප්‍රමාණවත් තරම් ඩොලර් නැත්නම් ඒකෙ මිල ඉහළ යනවා. ඒ හරහාත් යම් කිසි බලපෑමක් ඇති වෙලා තියෙනවා.

මොකද පසුගිය කාලවලදී සංචාරක කර්මාන්තය දළ වශයෙන් අඩපණවීමක් සිද්ධ වුණා පවතින භූ දේශපාලන අස්ථාවරයත් එක්ක. රටට ඩොලර් පැමිණීමේ පොඩි අඩුවක් තියෙනවා. ඉල්ලුම සැපයුම අනුවයි මේක තීරණය වෙන්නේ. මේ නිසා ඩොලර් මිල දී ගන්න ගියා ම මේ වගේ අවස්ථාවලදී සාමාන්‍යයෙන් මිල ඉහළ යනවා.

පසුගිය මාස කිහිපයේදී අපිට සමස්තයක් විදිහට අපනයන, විදේශ ප්‍රේෂණ සහ සේවා වලින් රටට ලැබිච්ච ඩොලර් ප්‍රමාණය ගත්තම රටේ ඩොලර් අතිරික්තයක් තිබුණා. ඒකට හේතුවක් තමයි ඒ වෙලාවේදී මහ බැංකුව මාර්කට් එකේ තිබුණ ඩොලර් ටික මිල දී ගත්තා. ඒකට තමයි සංචිත ගොඩනගනවා කියන්නේ. ඇත්තට ම සංචිත අවශ්‍ය යි අපිට.

හැබැයි මතක තියා ගන්න අවශ්‍ය දේ තමයි සැපයුම පැත්තෙන් ගත්තම ඩොලර් අඩුවෙලා තියෙනවා. අනික් අතින් ගත්තම ඉල්ලුම වැඩි වෙලා තියෙනවා ඩොලර් එකට. ඩොලර් එකට තියෙන ඉල්ලුම වැඩිවෙන ප්‍රධාන කරුණක් හැටියට මම දකින්නේ වෙළෙඳපොළට වැඩිපුර රුපියල් සැපයීම යි. මොක ද අපි බැංකුවලට ගිහින් ඩොලර් ගැනුම් කරන්නේ රුපියල් දීලා." ඔහු පැවසුවේය.

'රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය වැඩි යි'

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වූ නිවේදනයන්ට අනුව, 2025 වසරේදී වාහන ආනයනය සඳහා වැය කර ඇති සම්පුර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2,047ක් වේ.

එමෙන් ම, 2026 වසරේ පළමු මාස තුන සඳහා වාහන ගෙන්වීම සඳහා වැය කර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 613ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. සමස්තයක් වශයෙන් ගත වූ මාස 15ක කාල සීමාව තුළදී මෙරටට වාහන ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2,660ක් ලෙස එම වාර්තාවේ සටහන් වේ.

වාහන ගෙන්වීම, ඉන්ධන ඇතුළු අනෙකුත් ආනයනික භාණ්ඩ හා සේවා ගෙන්වීම හේතුවෙන් මෙරටින් ඩොලර් පිටරටට ඇදී යාම ද රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමට හේතුවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේ ය.

"උදාහරණයක් විදිහට හිතමු අපි කම්පියුටර් එකක් මිලදී ගන්නවා එහෙමත් නැත්නම් මෝටර් රථයක් මිල දී ගන්නවා කියලා. එතකොට රටින් ඩොලර් යම් ප්‍රමාණයක් පිටට යනවා. වාහනයක් එහෙම ලංකාවට ගේන්න ජපානයට ඇණවුමක් දෙනකොට ඒ වෙනුවෙන් මුදල් ගෙවීමේදී ඩොලර් ප්‍රමාණයක් රටින් පිටට යනවා. මේ වගේ දේවල් අවුරුද්දක් අවුරුදු එක හමාරක් සිද්ධ වෙන කොට ක්‍රමයෙන් බැංකු පද්ධතියට එකතු වෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ එක්ක ම ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කාලයත් එක්ක. මම හිතන විදිහට අපේ පද්ධතියේ රුපියල් ප්‍රමාණය වැඩි වශයෙන් ගැවසෙනවා කියලයි මට හිතෙන්නේ මේ වෙන කොට. ඒකත් එක හේතුවක් ඩොලර් එකේ අගය වැඩි වෙන්න.

අනිත් අතින් ගත්ත ම ඛනිජ තෙල්වලට වුණත් තියෙන ඉල්ලුම එන්න එන්න වැඩි වෙනවා. ජනතාව වාහනවලට තෙල් ගහනවා, විනෝද සංචාරවල එහෙම යනවා. ගෝලීය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අපේ රටේ පවතින ඉන්ධන මිලේ යම් අඩුවක් තියෙනවා. මෙතැනදී කරන්න පුළුවන් දේ තමයි වෙළෙඳපොළේ මිලට ඉන්ධන මිල ගලපන්න ඕන. ඒක ජනප්‍රිය තීරණයක් නෙමයි. නමුත් තෙල් මිල වෙළෙදපොළේ මිලට ගලපනවත් එක්ක ම රටේ දුප්පත් ම ජනතාවට යම්කිසි සහනාධාරයක් දෙන්න ඕන. දැන් කරලා තියෙන විදිහට තෙල් මිල සමස්තයක් විදිහට අඩු කරලා තියෙන්නේ, ඒකෙ වැඩිපුර ම වාසිය යන්නේ වැඩියෙන් ම තෙල් පාවිච්චි කරන අයට යි," ඔහු පැවසුවේ ය.

නෞකාවකින් මෝටර රථයක් පිටතට රැගෙන එන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමස්තයක් වශයෙන් ගත වූ මාස 15ක කාල සීමාව තුළදී මෙරටට වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 2,660ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

'ඉන්ධන මිල ගැලපුම් කිරීම IMF කොන්දේසියක්'

රුපියල අවප්‍රමාණය වීම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් 2022 වසරේදී මෙන් නැවත මෙරට ආර්ථික අර්බුදයක් ඇතිවීමේ ඉඩකඩ තිබේ ද යන්න පිළිබඳ බීබීසී සිංහල කළ විමසීමට පිළිතුරු දෙමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු කියා සිටියේ මෙරට ආර්ථික හැසිරීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ඊට හේතුවක් වන බව ය.

"මේ වෙලාවෙදී අපි රටේ ඉන්ධන මිල වෙළෙඳපොළේ පවතින මිලට ගලපන්න ඕන. නැත්නම් අපි ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවා. පළවෙනි එක තමයි IMF එකේ මීළඟ වාරිකය සම්බන්ධ සමාලෝචනය තියෙන්නේ මේ මාසේ 27 හෝ 28. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැටියට විදුලි බිල වගේ ම ඉන්ධන මිල පිරිවැයට ගලපන්න ඕන කියන එක.

ඉන්ධන මිල වෙළෙඳපොළේ වත්මන් පිරිවැයට ගලපද්දී ප්‍රශ්න කිහිපයක් ඇති වෙනවා. පිරිවැයට ගලපන එකත් ලේසියෙන් ම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉන්ධන මිල පිරිවැයට ගලපපු ගමන් ම උද්ධමනය ගණනය කරන ඒකකවල මිල අගයන් වැඩි වෙනවා. එතැනදී විදුලි බිල, වතුර බිල ඉහළ යන්න පුළුවන්. මෙතැනදී මහ බැංකුව උද්ධමනය ඉහළ යන එක සීමා කරන්න පොළී අනුපාත වැඩි කරන්න ඉඩ තියෙනවා. එහෙම එතැනදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිස යි මේක අමාරු තීරණයක් වෙන්නේ.

මගේ අදහස තමයි ඉන්ධන මිල වෙළෙදපොළේ මිලට සමාන කරන්න වෙනවා. 2023 සහ 2024 වසරවලට සාපේක්ෂව ගත්ත ම මේ වෙනකොට රටේ ඉන්ධන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා කියලා පෙනී යනවා. අපි ගන්න ප්‍රතිපත්ති තීරණත් එක්ක තමයි තීරණය වෙන්නේ ඉදිරියේදී යම් ආකාරයේ අර්බුදකාරී මට්ටමක් ඇති වෙයි ද කියලා," ඔහු පැවසුවේ ය.

'විදේශ ආයෝජන සීමාවීම ගැටලුවක්'

මේ අතර මෙරට ගෙවුම් ශේෂ ලේඛනයේ විදේශ මුදල් ආයෝජන සහ ලැබීම දැක්වෙන ප්‍රාග්ධන ගිණුම වර්ධනයක් අත්කර නොගැනීම ද ගැටලුවක් බව රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ගීතානි බුලන්කුලම බීබීසී සිංහල වෙත පැවසීය.

ඇය පෙන්වා දුන්නේ, ගත වූ කාල සීමාවේදී මෙරටට විදේශ ආයෝජකයින්ගේ පැමිණීම අඩුවීම ද රටේ ප්‍රාග්ධන ගිණුම වර්ධනයක් අත්කර නොගැනීමට හේතුවක් බව ය.

"ලංකාවේ විතරක් නෙමෙයි ඕනෑ ම රටක තියෙන ශක්තිමත් ම කර ගන්න ඕන ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රාග්ධන ගිණුම යි. ආර්ථිකය ශක්තිමත් ද කියලා සොයා බලන්න පුළුවන් ක්‍රමවේදය තමයි ඒක. විදේශ වෙළෙඳාම වෙන්න පුළුවන්, කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු, විදේශ ආයෝජකයින් ඔය ඔක්කොම ඩොලර් ගිණුම් හැදෙන්නේ මෙතැන යි.

අපේ ලංකාවේ පහුගිය කාල සීමාවේදී බැලුව ම විදේශ ප්‍රාග්ධන ලැබීම් සහ ගෙවීම් කියන කොටසේ විදේශ ප්‍රාග්ධන ලැබීම්, විදේශ ආයෝජන ලැබීම් තියෙන්නේ සියයට 01කට වගේ ආසන්න අගයක්. අපිට මෑත කාලයේ දී ලංකාවට ආව ආයෝජකයෝ කවුද? අපිට ඩොලර් එන්න ඕන. විශේෂයෙන් ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරිකයෙක් වෙච්ච අදානි ලංකාවේ ව්‍යාපෘතිය කරන්න බැහැ කියලා ගියා.

මිනිස්සුන්ට ආයෝජකයෙක් ඇවිත් ගියා කිව්ව ම ආර්ථික විද්‍යාව අතින් ගත්ත ම ඒ අපිට ගිලිහිලා යන්නේ විදේශ විනිමය ලැබීමක්. ඇත්තට ම අපිට ආයෝජකයෙක් ඇවිත් ඩොලර් ලැබෙනවා කියන එක රටට ආශිර්වාදයක්. නමුත් අපිට පහුගිය කාල සීමාවේදී ලොකු විදෙස් ආයෝජන පැමිණීමක් රටට සිද්ධ වෙලා නැහැ.

මේකත් එක අතකින් රටට ඩොලර් ලැබීමේ හිඟයට හේතුවක් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්ත ම අපේ අපනයන ආදායමට සාපේක්ෂව ආනයනය වියදම අධික යි. මේ රටින් ඩොලරයේ ගිලිහී යෑම කොතැන ද එතන රුපියල අවප්‍රමාණයට තමයි හේතුව. විශේෂයෙන් පහුගිය කාලේ සිද්ධ වූ වාහන ආනයනය කිරීමත් මේකට එක් හේතුවක්," ඇය සඳහන් කළා ය.

අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් පහළට

මේ අතර 2026 අප්‍රේල් මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේ වෙතත්, 2025 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 256.7 හා සැසඳීමේ දී එය 38.8%ක අඩුවීමක් බව පෙන්නුම් කරයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2026 අප්‍රේල් මාසයේ පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 135,643 දෙනෙකි. 2025 අප්‍රේල් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 256.7ක් උපයා ඇත්තේ, විදෙස් සංචාරකයින් 174,608ක පැමිණීමත් සමගිනි.

මේ අතර 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 876,277ක් ලෙස වාර්තා වන අතර, එම කාලසීමාව තුළ උපයා ඇති සමස්ත සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,111ක් බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.