Wi-Fi සිග්නල්වලට බාධා කරන පුදුම හිතෙන කරුණු මොනවා ද? ඔබේ සබඳතාව වැඩිදියුණු කර ගන්නේ කෙසේ ද?

වයි ෆයි සිග්නල්

ඡායාරූප මූලාශ්‍රය, BBC/ Serenity Strull/ Getty Images

    • Author, තෝමස් ජර්මේන්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ලෝකය ක්‍රියාත්මක වන්නේ, Wi‑Fi මත ය. නමුත් ඔබේ දිවා ආහාරය ද ඇතුළුව අමුතු දේවල් බොහොමයක් එයට බාධා කළ හැකි ය.

ඇලෙක්ස් හිල්ස් යනු පුරෝගාමියෙකි: එනම්, Wi-Fi සම්බන්ධතා ගැටලුවලට මුහුණ දුන් ලෝකයේ පළමු පුද්ගලයින් අතරින් කෙනෙකි.

1993 දී, එක්සත් ජනපදයේ කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස, ඔහු පළමු විශාල Wi-Fi ජාලයන්ගෙන් එකක් ගොඩනැගූ කණ්ඩායමකට නායකත්වය දුන්නේ ය.

හිල්ස් මේ කතාව තම Wi‑Fi and the Bad Boys of Radio කෘතියේ සඳහන් කරයි. නමුත් "Bad Boys" යනුවෙන් ඔහු හඳුන්වන්නේ අසම්මත ඉන්ටර්නෙට් පුරෝගාමී කණ්ඩායම නොවේ. එය, Wi‑Fi නිසි ලෙස ක්‍රියාත්මක වීමට බාධා කරන වස්තු සහ ක්‍රියාවලීන් සඳහා ඔහු යොදාගත් නාමය යි.

ඔබේ නිවසේ Wi-Fi සම්බන්ධතාවට බාධා කරන දේවල් බොහෝමයක් තිබිය හැකි ය. ඝන බිත්ති වැනි ඇතැම් දේවල් ගැන අපට පහසුවෙන් අපේක්ෂා කළ හැකි ය. නමුත් ඇතැම් ඒවා වඩාත් පුදුමසහගත විය හැකි ය.

මෙම ගැටලු සොයා ගැනීම ඔබේ Wi-Fi සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට උපකාරී විය හැකි අතර, ඔබේ ජීවිතයේ වඩාත් ම වැදගත් තාක්ෂණයන් පිළිබඳව ඔබ සිතන ආකාරය පවා වෙනස් කළ හැකි ය.

මයික්‍රෝවේව් උඳුන්

වසර 17ක් තිස්සේ, අමුතු රේඩියෝ සංඥා ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයින් ව්‍යාකූල කළේ ය. ඔවුන් සිතුවේ ඒවා සූර්යයාගෙන් හෝ පිටසක්වළ ජීවීන්ගෙන් පවා පැමිණිය හැකි බව ය. පසුව, සංඥා ඇත්ත වශයෙන් ම දිවා ආහාර වේල සැකසීමට භාවිත කරන කාර්යාලයේ මයික්‍රෝවේව් උඳුනකින් පැමිණෙන බව ඔවුන්ට පෙනී ගියේ ය.

ක්ෂුද්‍ර තරංග මගින් බලපෑමට ලක්වන එක ම තාක්ෂණය දුරේක්ෂ පමණක් නොවේ. ඒවාට ඔබේ Wi-Fi සම්බන්ධතාවට ද බාධා කළ හැකි ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

Wi‑Fi, අනෙකුත් බොහෝ රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණයන් මෙන් ම, තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ ගුවන්විදුලි තරංග හරහා ය. නීතිය ක්‍රියාත්මක කිරීම, ගුවන් ගමනාගමන පාලනය සහ AM හා FM ගුවන්විදුලි නාලිකා වැනි විශේෂ කාර්යයන් සඳහා බොහෝ සංඛ්‍යාත රටවල් විසින් වෙන් කර ගනු ලැබ තිබේ. නමුත් ඇතැම් සංඛ්‍යාත බලපත්‍රයක් නොමැතිව මහජන භාවිතය සඳහා විවෘත ය.

උදාහරණයක් ලෙස, 2.4 GHz යනු Wi‑Fi ජාල සහ Bluetooth උපාංග බොහොමයක භාවිත කරන වඩාත් සුලභ සංඛ්‍යාතයකි. පුදුමයට කරුණක් නම්, ඔබේ මයික්‍රෝවේව් උඳුන ආහාර රත් කිරීම සඳහා භාවිත කරන්නේ ද එම සංඛ්‍යාත ම ය.

මයික්‍රෝවේව් උඳුන් නිර්මාණය කර ඇත්තේ, එහි තරංග පිටතට නොයන ලෙස ආවරණය කරමිනි. නමුත් ඔබ සතුව පැරණි සහ දුර්වල තත්ත්වයේ මයික්‍රෝවේව් උඳුනක් තිබේ නම් හෝ ආහාර පිසීම අවසන් වීමට පෙර දොර විවෘත කරන්නේ නම්, එය Wi‑Fi සංඥාව සමග ගැටී බාධා එල්ල කිරීමට ඉඩ ඇති බව හිල්ස් පවසයි.

ප්‍රතිදීප්ත විදුලි බල්බ හෝ මෝටර් රථ ජ්වලන පද්ධතිවලින් පිටවන සංඛ්‍යාත නිසාත් මෙවැනි ගැටලු ඔබට ඇති විය හැකි ය. "මිනිසුන් වැඩියෙන් ම කතා කරන බාධා ඇති කරන මූලාශ්‍රවලින් මේකත් එකක්," හිල්ස් පවසයි.

"මේ දිනවල මයික්‍රෝවේව් විශාල ගැටලුවක් නෙමෙයි," හිල්ස් පවසයි. ඒවා වඩා හොඳින් නිපදවා ඇති නිසා Wi‑Fiවලට 2.4 GHz වෙනුවට 5 GHz මත ද ක්‍රියා කළ හැකි ය. නමුත් ඔබ සතුව පැරණි Wi‑Fi පද්ධතියක් හෝ පැරණි මයික්‍රෝවේව් උඳුනක් තිබේ නම් ඉන් තවමත් ගැටලුවක් ඇති කළ හැකි ය.

Wi-Fi රවුටර් එකක් සහ ජංගම දුරකථනයක් අතින් අල්ලාගෙන සිටින අයෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබේ නිවසේ Wi-Fi සම්බන්ධතාවට බාධා කරන දේවල් බොහෝමයක් තිබිය හැකි ය. ඝන බිත්ති වැනි සමහර දේවල් ගැන අපට පහසුවෙන් අපේක්ෂා කළ හැකි ය. නමුත් ඇතැම් ඒවා වඩාත් පුදුමසහගත ය.

මාළු ටැංකි

ඔබ නිවසේ ජලජ සතුන් ඇති කරන්නේ නම්, එය ද ගැටලුවක් විය හැකි ය.

"රේඩියෝ සංඥා දුර වැඩි වෙන විට දුර්වල වෙනවා," හිල්ස් පවසයි. "ගුවන්විදුලි සංඥාවක් දුර වැඩි වන විට ස්වභාවිකව ම දුර්වල වෙනවා," හිල්ස් පවසයි. "නමුත් සමහර විට එය සංඥාව දුර්වල කරන වස්තුවක් හරහා ගමන් කරනවා. අපි ඒකට 'ආවරණය වෙනවා' කියනවා."

Wi-Fi සහ ජලය යනු එකිනෙක ගැටුණු විට හොඳින් ක්‍රියා නොකරන දෙකකි. ජලය Wi-Fi සංඥා දුර්වල කළ හැකි ය. ජල අණු කුඩා චුම්බක මෙන් ක්‍රියා කර ගුවන්විදුලි සංඥා ශක්තිය අවශෝෂණය කර ගත හැකි ය. ඔබ සහ රවුටර් එක අතර මාළු ටැංකියක් තිබේ නම්, ඉන් Wi‑Fi නොමැති කලාපයක් නිර්මාණය කළ හැකි ය.

හිල්ස් පවසන්නේ, Wi‑Fi ජාලවලදී මිනිසුන් මුහුණ දෙන විශාලතම ගැටලුව ආවරණ බාධා (Shadowing) බව ය. එය මාළු ටැංකි නිසා පමණක් සිදුවන්නක් නොවේ.

දැව සහ ඩ්‍රයිවෝල් වැනි ද්‍රව්‍ය ගුවන්විදුලි තරංගවලට සාපේක්ෂව පහසුවෙන් විනිවිද යා හැකි ය. නමුත් ඔබේ බිත්ති ගඩොල් හෝ කොන්ක්‍රීට් වැනි ඝන ද්‍රව්‍යවලින් සාදා තිබේ නම්, එය වඩාත් අභියෝගාත්මක වේ.

"ඔබේ රවුටර් එක සහ සේවය ලබා දීමට උත්සහ කරන උපාංගය අතර ඍජු රේඛාවක් ගැන හිතන්න, සංඥාවට කාමරයක් වටා ප්‍රතිප්‍රේක්ෂණය වී වස්තූන් මග හැර වෙනත් මාර්ග සොයා ගන්න පුළුවන්. නමුත් බාධක වැඩි වන තරමට එය අපහසු වෙනවා," හිල්ස් පවසයි.

Wi‑Fi සඳහා ද කෙටි දුර වාසිදායක ය. රවුටර් එක නිවසේ මැද තැබීම සහ හැකිතාක් ඉහළින් තැබීම හොඳ පළමු පියවරකි.

එය උපකාරී නොවුණහොත්, ඔබට සංඥාව වැඩි කිරීමට Wi-Fi විස්තාරකයක් (wi-fi extender) භාවිත කළ හැකි ය, නැතහොත් ඔබේ නිවස පුරා Wi-Fi සිග්නල් ව්‍යාප්ත ජාලයකට මාරු විය හැකි ය. ඒ ආකාරයේ සබඳතාවක් ඇති නම්, ඔබේ මාළු ටැංකිය ඔබේ සම්බන්ධතාව අවහිර නොකරයි.

දර්පන

මයික්‍රෝවේව් තරංග මගින් Wi-Fi සිග්නල්වලට බාධා කළ හැකි අතර මාළු ටැංකි මගින් ඒවා දුර්වල කළ හැකි ය. තවත් පොදු ගැටලුවක් වන්නේ සිග්නල් පරාවර්තනය යි.

රේඩියෝ තරංග යනු ආලෝක වර්ගයකි. ආලෝකය දර්පන වැනි පරාවර්තක මතුපිටකින් ආපසු පැමිණෙනවා සේ ම, ඔබේ Wi‑Fi සිග්නල් ද එසේ කළ හැකි ය.

රූපවාහිනියක් වැනි ඕනෑ ම පැතලි, දිලිසෙන මතුපිටක් එම ගැටලුව ඇති කළ හැකි ය. ගොඩනැගිලි ද්‍රව්‍ය තුළ ලෝහ තහඩු භාවිත කර ඇති බිත්ති තිබේ නම් එවැනි ම ගැටලුවක් ඇති විය හැකි ය.

ඔබේ නිවසේ Wi-Fi සිග්නල් නොලැබෙන ස්ථානයක් තිබේ නම් ඔබ සහ රවුටරය අතර ඇති මාර්ගය ගැන සිතා බලන්න. එහි ඇති කැඩපතක් හෝ විශාල රූපවාහිනියක් මගින් සංඥා වෙනතකට පරාවර්තනය වීමට ඉඩ ඇත.

එසේ වුවහොත් පරාවර්තක මතුපිට පිහිටීම වෙනස් කිරීම ගැන සිතිය හැකි ය. එසේ නොමැති නම් නිවසේ සැලැස්ම වෙනස් කිරීමට අවශ්‍ය නොවේ නම්, Wi‑Fi විස්තාරකයක් භාවිතයෙන් ද මෙම ගැටලුව විසඳාගත හැකි ය.

පරිගණකයක අන්තර්ජාල පහසුකම් නැති ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබේ නිවසේ Wi-Fi සංඥා නොලැබෙන ස්ථානයක් තිබේ නම් ඔබ සහ රවුටරය අතර ඇති මාර්ගය ගැන සිතා බලන්න. එහි ඇති කැඩපතක් හෝ විශාල රූපවාහිනියක් මගින් සිග්නල් වෙනතකට පරාවර්තනය වීමට ඉඩ ඇත

ශීත ඍතුව

සම්බන්ධතාව විවෘත අවකාශයක් හරහා ගොඩනැගිලි අතර ගමන් කරන්නේ නම් වැස්ස සාමාන්‍යයෙන් ඔබේ Wi-Fi සිග්නල්වලට බලපාන්නේ නැත. නමුත් අහිතකර කාලගුණය ගැටලු ඇති කළ හැකි ය.

හිමපතනයකින් නිවසකට, අසල්වැසි ප්‍රදේශයකට හෝ මුළු නගරයකට ම සේවා සපයන යටිතල පහසුකම් සම්පූර්ණයෙන් ම අක්‍රිය කළ හැකි ය - එය අධික සීතල කේබල් ඇතුළත ලෝහයට හානි කිරීම හෝ හිම ගොඩගැසී චන්ද්‍රිකා සංඥා අවහිර කිරීමකින් විය හැකි ය.

තාපය ද ගැටලු ඇති කළ හැකි ය. කාලගුණික ගැටලු නොමැතිව වුව ද, නිවසේ සිටින සියල්ලන් ම එක ම වේලාවක Wi-Fi භාවිත කරන විට Wi-Fi මන්දගාමී විය හැක.

මෙයින් අදහස් කරන්නේ, දේශගුණික විපර්යාස හරහා ඉන්ටර්නෙට් ගැටලු ඇති විය හැකි බව ය. ග්‍රහලෝකය ආරක්ෂා කිරීමෙන් සහ ජාල පද්ධති වැඩිදියුණු කරන ලෙස සමාගම් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීමෙන් ඔබට සහයක් ලබාගත හැකි ය.

ඇලෙක්ස් හිල්ස් මේ දිනවල ඇලස්කාවේ ජීවත් වන අතර, ඔහු තම වෘත්තීය ජීවිතයෙන් වැඩි කොටසක් දුෂ්කර නගර සහ ගම්මානවලට ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීමට කැප කර ඇත.

චන්ද්‍රිකා ඉන්ටර්නෙට් සේවා එම ව්‍යාපෘතිය බොහෝ පහසු කර ඇත, නමුත් එම සේවාව ම wi-fi "bad boys" ලෙස පෙනී සිටියි.

ඇතැම්විට හිම කුණාටුවක් නිසා ඔබේ චන්ද්‍රිකා තැටිය හිමෙන් වැසී ගිය විට, ඔබට කළ හැක්කේ සවලක් අතට ගැනීම පමණි.