වලව ගොවි විරෝධය : 'ගොවීන්ට අත තියලා පහුගිය පාලකයා වැරැද්ද ගත්තා. මේ වතාවේ වරද්ද ගන්න හදන්න එපා'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'ගොවීන්ට අත තියලා පහුගිය පාලකයා වැරැද්ද ගත්තා. මේ වතාවේ වරද්ද ගන්න හදන්න එපා'
Published

වලව වම් ඉවුරේ ගොවි නායකයන් දෙදෙනෙකුට පහර දුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් ගොවීහු අද (අගෝස්තු 21) හම්බන්තොට වරාය පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

සමනල වැවෙන් නිදහස් කළ ජලය ලබා ගැනීමේ දී අනවසර වගාකරුවන් සමග ඇති වූ ගැටලුවක් මුල් කරගෙන මෙම පහරදීම සිදු කර ඇතැයි ගොවීහු පවසති.

''පොලීසිය මැරයෝ අල්ලන්නේ නැතුව ගොවීන්ට බලපෑම් කරනවා පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න කියලා. පොලීසිය අපරාධකරුවන් ආරක්ෂා කරනවා.'' යනුවෙන් විරෝධතාවයට එක් වූ වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් සමන් සුදර්ශන ප්‍රකාශ කළේය.

පොලීසිය පවසන්නේ මෙම සිදුවීම් ගැන අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර බුද්ධි අංශ යොදවා තිබුණ ද තවමත් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

මයුරපුර මහවැලි කාර්යාලය ඉදිරිපිට ද විරෝධතාවයක් කිරීමෙන් අනතුරුව ගොවීහු හම්බන්තොට වරාය පොලීසිය ඉදිරිපිට විරෝධතාවය සිදු කළහ.