උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම 'අධිකරණයේ ස්වාධීනත්වයට හානියක්' ද? රජයේ ස්ථාවරය කුමක් ද?

කොළඹ අලුත් කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Justice

Published
කියවීමේ කාලය: මිනිත්තු 6

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සීමාව වසර 2කින් දීර්ඝ කිරීමට රජය ගෙන ඒමට සූදානම් වන යෝජනාවක් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට සංවාදයක් නිර්මාණය වී තිබේ.

නව ක්‍රමවේදයට අනුමැතිය හිමිවුවහොත් පිළිවෙලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 67ක් දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65ක් දක්වා ද දීර්ඝ කිරීමට රජයේ සූදානමක් ඇති බවට ඇතැම් පාර්ශව සඳහන් කරති.

දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65ක් වන අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වයස සීමාව අවුරුදු 63ක් වේ.

'විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම නුසුදුසුයි'

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සිට පවතින අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වන අවුරුදු 63 සීමාවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වන අවුරුදු 65 සීමාවත් අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේ, පසුගිය මැයි 25 වන දා ය.

මෙලෙස උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බව නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.

එම සංගමය තවදුරටත් පෙන්වා දෙන්නේ, මේ සඳහා පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයක් ගෙන ඒම මගින් මහජනතාව රජයේ අභිප්‍රායන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බව ය.

මේ අතර, උපරිමාධිකරණ විනිසුරුවරුන් ඇතුළු අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාවේ ස්ථාවරය පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම සඳහා සෙනසුරාදා [ජූලි 4] ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් 'පොදු සංවාදය' නමින් වැඩසටහනක් සංවිධානය කරනු ලැබ තිබිණි.

එහිදී මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, මහාචාර්ය දීපිකා උඩුගම, නීතිඥ ජෙෆ්රී අලගරත්න ඇතුළු විද්වතුන් රැසක් එම සංවාදය අමතනු ලැබූහ.

එම විද්වතුන් එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව තවදුරටත් දීර්ඝ කිරීම නුසුදුසු බව ය.

විශ්‍රාමික වයසේ පසුවන කෙනෙක් ගන්නා තීන්දු සීයට සියයක් ම නිවැරදි නොවීමට ඉඩ ඇති බවත්, මෙම වෘත්තීය අනෙක් වෘත්තීන් මෙන් නොව රටේ පොදු මහජනතාවගේ ජීවිත සමග සිදුකරන ගනුදෙනුවක් බවත් පෙන්වා දුන් එම විද්වත්තු වයසින් වැඩි විනිසුරුවරුන් විසින් ගන්නා තීරණ වැරදි වුවහොත් එය රටේ නීති පද්ධතිය කෙරෙහි රටේ පොදු මහජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටීමට ඉඩ ඇති බව ද කරුණු දක්වමින් පෙන්වා දුන්හ.

මීට කලකට පෙර හොංකොං රාජ්‍යයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට එරට රජය පියවර ගත්තේ ය. එම තීරණය දෝෂ සහිත බව පෙන්වා දුන් එරට හිටපු අගවිනිසුරුවරයා සිය නියමිත වයස සම්පුර්ණ වූ දිනයේදී අගවිනිසුරු ධූරයෙන් විශ්‍රාම ගොස් ඇති බවත්, එම අගවිනිසුරුවරයාගෙන් පසුව ධූරයට පත්වූ විනිසුරුවරුන් සිව්දෙනෙකු ද ඔවුන්ගේ නියමිත වයසේදී ධූරයෙන් විශ්‍රාම ගොස් තිබෙන බවත් මෙම වැඩසටහනේදී සඳහන් විය.

'අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් විය හැකියි'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජූනි මස 26 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම අරමුණු කරගත් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සමග ඉදිරියට යාමෙන් වළකින ලෙස ආසියා සහ පැසිෆික් කලාපීය නීති සංගමය (LAWASIA) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින ලදී.

එවැනි පියවරක් අධිකරණ ස්වාධීනත්වය සහ රටේ නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ කළ හැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකරන ලෙස කොළඹ නීති සංගමය ද ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටින අතර, එවැනි පියවරක් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසයට හානි කළ හැකි බවට එම සංගමය අනතුරු අඟවා ඇත.

2026 ජූලි 2 දිනැති ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් එම සංගමය පැවසුවේ, ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම සඳහා වාර්තා වී ඇති යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු තම විධායක කමිටුව ඒකමතිකව තම ස්ථාවරය මෙලෙස දැනුම් දීමට තීරණය කළ බව ය.

උපරිමාධිකරණ විනිසුරුවරුන් විසින් ලබා දෙන ලද වටිනා දායකත්වය සංගමය අගය කරන නමුත්, ව්‍යවස්ථාපිතව සඳහන් කර ඇති විශ්‍රාම යන වයසට අදාළව සිදුකරනු ලබන ඕනෑ ම වෙනසකමක් පිළිබඳව සලකා බැලිය යුත්තේ අදාළ සියලු පාර්ශ්වකරුවන් සමග පුළුල් උපදේශනයකින් පසුව පමණක් බව එම සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මගින් අවධාරණය කර ඇත.

කොළඹ නීති සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය

ඡායාරූප මූලාශ්‍රය, Colombo Law Socitey

ඡායාරූප ශීර්ෂ වැකිය, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකරන ලෙස කොළඹ නීති සංගමය ද ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියි

වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන එම ධූරයේ තවත් කාලයක් තබා ගැනීමට රජය මෙම ක්‍රියාමාර්ගය ගැනීමේ ප්‍රයත්නයක නිරත බවට ඇතැම් පාර්ශව විවිධ අවස්ථාවලදී චෝදනා එල්ල කර තිබේ.

වත්මන් අගවිනිසුරුවරයාගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව එම තනතුර සඳහා පත් කිරීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා ය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට ජ්‍යෙෂ්ඨත්වයට අනුව ඉහළින් ම සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන්නේ යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ඒ.එල්. ශිරාන් ගුණතිලක, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන ය.

ජනපති පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය

ජූනි මස 26 වන දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, උපරිමාධිකරණවල විනිසුරුවරුන් පත් නොකිරීම පිළිබඳව තමන් අගවිනිසුරුවරයාගෙන් විමසීමක් සිදුකළ බවයි.

එම කරුණ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් එවා ඇති බව ද එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ය.

නීතිය හොඳින් පසිඳලමින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට වෙහෙස වන අතර අධිකරණයක් පාලනය කිරීමේ අවශ්‍යතාවක් කිසිසේත් ම නොමැති බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ ය.

විනිසුරුවරුන්ගේ හිඟය හේතුවෙන් අධිකරණ කිහිපයක් වසා දැමීමට සිදුව ඇති බවත්, ඉදිරියේදී එම තත්ත්වය මග හරවා ගැනීම සඳහා නව මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ‍ ය.

"අද මහේස්ත්‍රාත් අධිකරණ කීපයක් වැහිලා තිබෙනවා. නීතිපතිතුමා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලා තිබෙනවා. ඒත් ත්‍රිපුද්ගල මහාධිකරණ පත් කරන්න විනිසුරුවන් නැතුව ඉන්නවා. සමහර තැන්වල හදපු ත්‍රිපුද්ගල මහාධිකරණවල විනිසුරුවන් වැඩිපුර කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා පහළ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව පහළ බඳවා ගැනීම් සිදු කරමින් ඉදිරියට යන්න ඕන.

දැනට අධිකරණ කොමිෂන් සභාව අවසර දුන්නා අලුතින් මහේස්ත්‍රාත්වරුන් පනස් දෙනෙකු බඳවා ගැනීමට. මා දන්නා පරිදි දැන් සම්මුඛ සාකච්ඡා පවත්වමින් තිබෙනවා. ඒකෙන් තිස් තුන්දෙනෙක් තමයි තෝරාගෙන තිබෙන්නේ. ඔවුනුත් සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගී වූවාට පසු කී දෙනෙක් තෝරා ගනීදැයි මා දන්නේ නෑ. ඒ ධාරිතාව තිබෙන පිරිස අපි මේ ක්‍ෂේත්‍රයට ගත යුතුයි.

"එනිසා උපරිමාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම පිළිබඳ තීරණය අපි ගන්න ඕන පහළ අධිකරණ කඩා වැටෙන්න ඉඩ නොදී," ජනාධිපතිවරයා පැවසුවේ ය.

'තව ම නිල තීරණයක් අරන් නැහැ'

මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ ව්‍යස දිර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක් ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසීමක් කළේ ය.

එහිදී අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, ඒ පිළිබඳ මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බව සහ ඒ පිළිබඳව සාකච්ජා කරමින් පවතින බව ය.

"විනිසුරුවරුන්ගේ විතරක් නෙමෙයි තවත් වෘත්තිකයින් ගැනත් සාකච්ජා කරමින් පවතිනවා. තව ම නිල වශයෙන් තීරණයක් අරන් නැහැ," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.