SriLankan හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ මරණය: මිය ගිය ස්ථානයේ තිබූ නාඳුනන ඖෂධ ගැන අධිකරණයේ අවධානය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මරණයට පත්ව සිටි ස්ථානයේ තිබී සොයා ගන්නා ලද නාඳුනන ඖෂධ වර්ග පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බදාදා (ජූලි 8) රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කළේ ය.
ඒ, මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුත්ත අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.
'පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මෙතෙක් ලැබී නැහැ'
එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත දැනුම් දුන්නේ, මරණකරු මිය ගොස් සිටි ස්ථානයේ තිබී සොයා ගන්නා ලද නාඳුනන ඖෂධ සමහරක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙන බවත් එම රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් ය.
ඊට අමතරව මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මෙතෙක් ලැබී නොමැති බව පොලිසියා අධිකරණය හමුවේ පැවසීය.
මහේස්ත්රාත්වරයාගේ නියෝගය
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අදාළ ඖෂධ පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත සිහිකැඳවීමක් නිකුත් කරන ලෙස නියම කළේ ය.
ඊට අමතරව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේ ය.
ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජූලි මස 22 වන දා කැඳවන ලෙස නියෝග කෙරිණි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේ මියගොස් සිටියදී හමුවුණේ මැයි 8 වන දා ය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන මැයි 6 වන දා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර පසුව නැවත ඔහුව අත්අඩංගුවට ගන්නැයි මැයි 7 වන දින නියෝග කළේ ය.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.































