ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මගී ප්‍රවාහන නෞකාවකින් මතු වූ හැන්ටාවෛරසය ගැන අප කොපමණ බිය විය යුතු ද?
- Author, මිෂෙල් රොබර්ට්ස්
- Role, ඩිජිටල් සංස්කාරක - සෞඛ්‍ය
- කියවීමේ කාලය: මිනිත්තු 5
ලෝකයේ විවිධ රටවල් රැසක මගීන් රැගත් මගී ප්‍රවාහන නෞකාවක හැන්ටාවෛරසය ව්‍යාප්ත වීම ඉතා බරපතළ ලෙස සලකන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
මසකට පෙර ආර්ජන්ටිනාවෙන් ගමන් ආරම්භ කළ මෙම නෞකාවේ මගීන් තිදෙනෙකු නෞකාව තුළදී හෝ පසුව මිය ගොස් තිබිණි.
තවත් හතර දෙනෙකු ප්‍රතිකාර සඳහා වෛද්‍යමය උපදෙස් මත නෞකාවෙන් ඉවත් කරගෙන ගොස් තිබේ.
වෛරසයට නිරාවරණය වී ඇති පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වේ. ඔවුන් දැනටමත් එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය, එක්සත් ජනපදය සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවලට ගුවනින් ගමන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු බව සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති. එසේ නම්, අප ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු ප්‍රමාණය කොපමණ ද?
'මේ කොවිඩ් නෙවෙයි'
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බ්‍රහස්පතින්දා [මැයි 07] නිකුත් කළ යාවත්කාලීන කරන ලද නිවේදනයක වෛද්‍ය මාරියා වෑන් කර්කෝව් මෙය වසංගතයක ආරම්භයක් නොවන බව අවධාරණය කරමින් මෙසේ පැවසුවා ය: "මේ කොවිඩ් නෙවෙයි, මේ ඉන්ෆ්ලූවෙන්සා නෙවෙයි, මේක පැතිරෙන්නේ වෙනස් ම ආකාරයකට."
මිනිසුන් අතර පහසුවෙන් පැතිරෙන සරම්ප වැනි අධික ලෙස බෝවන රෝග මෙන් නොව, මෙම වසංගතයට සම්බන්ධ ඇන්දීස් වෛරස කාණ්ඩය පහසුවෙන් පැතිරෙන්නේ නැත.
මිනිසුන්ගෙන් මිනිසුන්ට පැතිරීමට හැකියාවක් ඇති නමුත්, ගෝලීය වශයෙන් ආසාදන අවදානම අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නවතම යාවත්කාලීන කිරීමට අනුව, නෞකාවේ පුද්ගලයින් අට දෙනෙකු රෝගී වී ඇති බවට සැක කරන අතර, ඉන් තුන් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අනෙක් පස් දෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරයි.
මෙම වෛරස පැතිරීම ආරම්භ වූ ආකාරය තවමත් පැහැදිලි නැත.
හැන්ටාවෛරසය සාමාන්‍යයෙන් මීයන්ගෙන් පැතිරෙන අතර, මීයන්ගේ මලමුත්‍රා හෝ කෙළවල ඇති වෛරස් අංශුවලින් දූෂණය වූ වාතය ආශ්වාස කිරීමෙන් මිනිසුන්ට එය ආසාදනය වේ.
මෙම නෞකාව දුරින් පිහිටි වනාන්තර නැරඹීමට මගීන් රැගෙන ගොස් තිබූ බැවින්, යම් මගියෙකු ඒ මොහොතේ හෝ නැවට ඇතුළු වීමට පෙර වෛරසයට නිරාවරණය වන්නට ඇතැයි සැක කෙරේ.
සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ, ඇන්දීස් වෛරස කාණ්ඩය පසුගිය වසංගත තත්ත්වවලදී ඉතා සමීප සම්බන්ධතා හරහා මිනිසුන් අතර පැතිර ගොස් ඇති බවත්, MV හොන්ඩියස් නෞකාවේදී හමුවූ සමහර ආසාදන, පුද්ගලයාගෙන් පුද්ගලයාට ද පැතිරී ඇති බවත් ය.
සුඛෝපභෝගී මගී ප්‍රවාහන නැව්වල පවා සීමිත පොදු ඉඩ ප්‍රමාණයක් ඇති අතර, මගීන් එක ම කැබින් සහ ආහාර ලබා ගන්නා ප්‍රදේශ භාවිත කරන අතර එමගින් ආසාදන පැතිරීමේ අවදානම වැඩි විය හැකි ය.
මිනිසුන්ට එය වැළඳිය හැක්කේ ඔවුන් දිගු කලක් ශාරීරිකව සමීපව ඇසුරු කරන පුද්ගලයෙකුගෙනි.
මිය ගිය තිදෙනා අතර, අප්‍රේල් 24 වන දින ශාන්ත හෙලේනාහි MV හොන්ඩියස් නෞකාවෙන් පිටත් වූ නෙදර්ලන්ත ජාතික කාන්තාවක් ද විය. ඇය අප්‍රේල් 11 වන දින නැවේදී මිය ගිය ඇගේ සැමියා සමග එක ම කැබින් එකක සිට ඇති නමුත් ඔහුට හැන්ටාවෛරසය වැළඳී තිබුණු බව බලධාරීන් තහවුරු කර නොමැත.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියට [UKHSA] අනුව, හැන්ටාවෛරසය වීදි, කඩ සාප්පු, සේවා ස්ථාන හෝ පාසල් වැනි පොදු ස්ථානවල සාමාන්‍ය දෛනික සම්බන්ධතා හරහා පැතිරෙන්නේ නැත.
වෛරසයට නිරාවරණය වීමෙන් සති දෙකත් සති හතරත් අතර ලක්ෂණ පෙන්විය හැකි අතර, ඇතැම් විට මාසයකට වැඩි කාලයකට පසුව ද එය සිදුවිය හැක. නෞකාවේ සිටි මගීන්, රෝහල්වල සිටින පුද්ගලයින් හෝ එහි සිටි මගීන්ගෙන් ගුවන් ගමන්වලදී ආසාදනයට නිරාවරණය වී ඇති පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍ය බලධාරීහු සොයා බලමින් සිටිති.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියේ ප්‍රධාන විද්‍යා නිලධාරී මහාචාර්ය රොබින් මේ බීබීසීය වෙත පැවසුවේ, මේ වන විට එවැනි සම්බන්ධතා හඳුනා ගැනීමට "දැවැන්ත මෙහෙයුමක්" ක්‍රියාත්මක වන බවත්, "තව කාලයක් පුරා එය කරගෙන යාමට සිදුවන" බවත් ය.
ආරක්ෂිත පියවරක් ලෙස, නෞකාවේ සිට ආපසු එන බ්‍රිතාන්‍ය මගීන්ට දින 45ක් එක්සත් රාජධානියේ ස්වයං නිරෝධායනය වන ලෙස ඉල්ලා සිටින බව එම ඒජන්සිය පවසයි.
මෙම නෞකාව හා සෘජුව සම්බන්ධ නොවූ ජනතාව සඳහා "මෙහි ඇති අවදානම සැබවින් ම නොසැලකිය යුතු මට්ටමක පවතින්නක්" බවට මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
ඇන්දීස් වෛරස් කාණ්ඩයෙන් රෝගී වූ පුද්ගලයන්ට උණ, තෙහෙට්ටුව සහ මාංශ පේශී වේදනා වැනි උණට සමාන ලක්ෂණ තිබිය හැක. එපමණක් නොව, හුස්ම ගැනීමේ අපහසුතා, උදරයේ වේදනාව, මලබද්ධය, වමනය හෝ පාචනය ද ඇති විය හැක.
ආසාදනය හඳුනා ගැනීමට පරීක්ෂණ තිබුණ ද, නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. එහෙත් රෝහලකදී කාලෝචිත වෛද්‍ය සහය ලබා දීමෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකියාව පවතී. ප්‍රතිකාර කිරීම් රෝග ලක්ෂණ පදනම් කරගෙන සිදු කෙරේ.
MV හොන්ඩියස් නෞකාවේ සිට එක්සත් රාජධානියට බ්‍රිතාන්‍ය ජාතිකයන් පැමිණීම සම්බන්ධීකරණය කිරීමට නිලධාරීන් කටයුතු කරමින් සිටින බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පැවසීය.
එහි වසංගත රෝග සහ නව ආසාදන සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය මීරා චාන්ද් මෙසේ පැවසුවා ය: "සාමාන්‍ය ජනතාවට ඇති අවදානම ඉතා අඩු මට්ටමක පවතින බව ජනතාවට සහතික කිරීම වැදගත්."
"[රෝගය] සම්ප්‍රේෂණය වීමේ අවදානම සීමා කිරීම සඳහා නෞකාව සමග හෝ හැන්ටාවෛරස් රෝගීන් සමග සම්බන්ධ වී ඇති හැම කෙනෙක්ව ම අපි සොයමින් ඉන්නවා."
බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් වූ දූපත් සමූහයක් වන කේප් වර්ඩ් අසල දින තුනක් නැංගුරම් ලා තැබීමෙන් පසු MV හොන්ඩියස් නෞකාව දැන් ස්පාඤ්ඤයේ කැනරි දූපත් දෙසට යාත්‍රා කරමින් සිටියි.
සැලැස්ම වන්නේ ඉතිරි මගීන් සහ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ මව් රටවලට යැවීමට සැලැස්වීම යි.
ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් යාත්‍රාවට ගොස් තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කර තිබේ.
සැලසුම් කළ පරිදි නෞකාවේ පිරිස් ඉවත් කිරීමට පෙර වෘත්තීයමය කණ්ඩායම් යොදවා පිරිසිදු කළ අතර, මගීහු නෞකාවේ හුදෙකලාව රැඳී සිටිති.
ඕෂන්වයිඩ් එක්ස්පෙඩිෂන්ස් සමාගම බ්‍රහස්පතින්දා [මැයි 07] පැවසුවේ, නෞකාවේ තවමත් කිසිවෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බව ය.
අප්‍රේල් 24 වන දින ශාන්ත හෙලේනාහි නැංගුරම් ලෑමේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් හත් දෙනෙකු ඇතුළු මගීන් 30 දෙනෙකු ගොඩ බැස්ස බවත්, එතැන් සිට සියලු දෙනා සම්බන්ධ කර ගත් බවත් එහි සඳහන් වේ.
ජොහැන්නස්බර්ග් සිට ආපසු පැමිණීමෙන් පසු, ශාන්ත හෙලේනා සිට නෞකාවෙන් පිටත් වූ බ්‍රිතාන්‍ය මගීන් දෙදෙනෙකු සෞඛ්‍ය නිලධාරීන් අමතා, රෝග ලක්ෂණ නොමැති වුව ද, ඔවුන් දැන් ස්වේච්ඡාවෙන් එක්සත් රාජධානියේ නිරෝධායනය වෙමින් සිටින බව දැනුම් දී ඇතැයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පැවසීය.
ශාන්ත හෙලේනාහි ගොඩ බසින ලද අනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයන් පස් දෙනා තවමත් එක්සත් රාජධානියට ආපසු පැමිණ නොමැති බව ඒජන්සිය පසුව පැවසීය.
එක්සත් ජනපදයේ ජෝර්ජියා සහ ඇරිසෝනා ප්‍රාන්තවල සෞඛ්‍ය නිලධාරීන් බීබීසීයට පැවසුවේ, නෞකාවේ සිට එක්සත් ජනපදයට පැමිණි මගීන් තිදෙනෙකු නිරීක්ෂණය කරන නමුත් කිසිවෙකු දැනට රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බව ය.