ෆ්ලොරීඩා ප්‍රහාරය: මිය ගිය ගණන ඉහලට-ප්‍රහාරකයා හඳුනා ගනී

Published

එක්සත් ජනපදයේ ඔර්ලන්ඩෝ හි රාත්‍රී සමාජ ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පනස් දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ඔර්ලන්ඩෝ නගරාධිපතිවරයා නිවේදනය කළේය.

විසි නම හැවිරිදි ප්‍රහාරකයා එක්සත් ජනපද පුරවැසියෙකු වන ඕමාර් මටීන් බවට හඳුනා ගෙන තිබේ.

ප්‍රහාරයෙන් පසු ෆ්ලොරීඩා ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීහු පියවර ගත්හ.

'පල්ස් ක්ලබ්' නමැති සමලිංගික සමාජ ශාලාවට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් පනස් තුන් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රස්ත ක්‍රියාවක් ලෙස පොලිසිය හඳුන්වන මෙම ප්‍රහාරය, එක්සත් ජනපද මෑත ඉතිහාසයේ ඇති වූ දරුණුතම වෙඩි ප්‍රහාරවලින් එකක් බවයි වාර්තා සඳහන් කරන්නේ.

අන්තවාදී ඉස්ලාමීය දෘෂ්ඨිවාදීන් ගේ පෙළඹවීම මත මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවට සැක පහල කරනමුත් එය තවම සනාත වී නැත.

ප්‍රහාරකයා වෙඩි තබා මරා දැමීමට පෙර ප්‍රාණ ඇපකරුවන් තිස් දෙනෙකු පමණ සිය භාරයේ සිටි බවයි ෆ්ලොරීඩා පොලිසිය පවසන්නේ.

ඔහු සතුව රයිෆලයක් සහ තවත් තුවක්කුවක් තිබුණු බව ෆ්ලොරිඩා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.