තිලක් මාරපනට තවත් ඇමති ධුරයක්

Published

නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන අද (අගෝස්තු 15) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුණි.

ජනාධිපති නීතිඥයකු වන අමාත්‍ය තිලක් මාරපන අලුතින් භාර ගත් විදේශ අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන කාර්යභාර අමාත්‍ය ධුරය ද හොබවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි තිලක් මාරපන කලක් වත්මන් ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

නමුත් ඔහුට එම ධුරයේ කටයුතු කිරීමට හැකි වූයේ මාස කිහිපයක් පමණි.

තිලක් මාරපනට එලෙස සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ ඔහු කලක් නීති උපදෙස් ලබා දුන් ඇවන්ගාඩ් සමාගමට පක්ෂපාතීව අදහස් පළ කළ බවට විවේචන එල්ල වීමේ තත්ත්වය හේතුවෙනි.

එම සමාගම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන පරීක්ෂණවලට එම ධුරය හරහා බාධාවක් සිදු වෙතැයි ජනතාව සහ මන්ත්‍රීවරුන් අතර මතු වී තිබූ සැකය හමුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඔහුට ඉල්ලා අස් වීමට සිදු විය.

ජවිපෙන් ඉල්ලීමක්

පසුව මෑත සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ඔහුට සංවර්ධන කාර්යභාර නමැති නව ඇමති ධුරයක් හිමි විය.

ඇවන්ගාඩ් සමාගම මුල් කර ගනිමින් ඇමති ධුරයෙන් ඉවත් වීමට සිදු වූ තිලක් මාරපනට විදේශ ඇමති ධුරය ලබා නොදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.