ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
SriLankan එයාර් බස් ගනුදෙනුව: කපිල චන්ද්‍රසේනට ඇප
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 5 වැනිදා) නියම කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදි.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කෙරුණි.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.
මෙම නඩුකරය ඉකුත් 28 වැනිදා කැඳවූ අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.
එම ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිහූ එදින විරෝධය පළ කළහ.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (මැයි 5 වැනිදා) පෙරවරුවේ ප්‍රකාශයට පත් කළේය.
මහින්ද රාජපක්ෂ, පියංකර ජයරත්න සහ විලී ගමගේ ගෙන් ප්‍රකාශ ගැනීමට පියවර
ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරිහූ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න සහ විලී ගමගේ යන අය අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු යොදා ඇතැයි සඳහන් කර සිටියහ.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සිද්ධියට විලී ගමගේ නමැත්තාගේ සම්බන්ධය කුමක්දැයි විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ 2015 වසරේ පැවති මැතිවරණය සමයේ සැකකාර ශමින්ද්‍ර රාජපක්ෂ පවත්වාගෙන ගිය දේශපාලන මෙහෙයුම් කාර්යාලය භාරව කටයුතු කළේ මෙම විලී ගමගේ නමැත්තා බවයි.
ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසීය.
ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට පියවර
ඊට අමතරව ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය නිකුත් කළ වරෙන්තුවට අනුව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා දැනුම් දුන්නේය.
එමෙන්ම මෙම විමර්ශනවලට අවශ්‍ය කරන ඇතැම් ලේඛන ලබාදෙන ලෙස එච්.එස්.බී.සී බැංකුවෙන් ඉල්ලීම් කළත් සැලකිය යුතු කාලයක් ගතවී තිබීම නිසා එම දත්ත තමන් සතුව නැති බව අදාළ බැංකුව ප්‍රකාශ කර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියේ ය.
ඉන් අනතුරුව මෙම පැමිණිල්ල යළි ජූලි මස 14 වනදා කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
මහින්ද රාජපක්ෂට මුදල් දුන් බවට කළ ප්‍රකාශය
එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම (මාර්තු 19 වන දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඊට අමතරව අදාළ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේ ය.
ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබා දුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.
සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ මීට පෙර කරුණු දක්වමින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් දින ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එදින අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තම සේවා දායකයාට කළ තර්ජනයක් ගැන තමා කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ බවත් පැවසීය.