සාප්පු සවාරි යන පාරිභෝගිකයින්ගේ ග්‍රොසරි බෑග් රැගෙන යන 'CarryMen' ව්‍යාපාරය

    • Author, ගීතා පාණ්ඩේ
    • Role, බීබීසී වාර්තාකරු, දිල්ලි
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

සිතන්න, නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය මිලට ගැනීමට වෙළෙඳසලෙන් වෙළෙඳසලට යන ඔබේ ග්‍රොසරි බෑග් රැගෙන යාමට තවත් කෙනෙකුට හැකි නම්? නැතිනම් ඔබ ඒ කටයුතු කර ගන්නා අතරතුර ඔබේ සිඟිත්තා සිටින කරත්තය තල්ලු කරගෙන යාමට තවත් කෙනෙක්ට උදව් විය හැකි නම්?

ඔව්, ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ කාර්යබහුල වෙළෙඳසල් වෙත පැමිණෙන පාරිභෝගිකයින් සඳහා හඳුන්වා දුන් නවතම සේවාව එයයි.

පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලද මෙම "CarryMen" සේවාව මගින් ලාජ්පත් නගර්හි වෙළෙඳසල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් සහයකයන් සහ සහායිකාවන් සැපයීම සිදුවේ. උපරිම වශයෙන් පැය හතරක් දක්වා ලබාගත හැකි මෙම සේවාවේදී මුල් විනාඩි 30 සඳහා අය කෙරෙන මුදල ඉන්දීය රුපියල් 79කි (ශ්‍රී ලංකා රුපියල්වලින් 280කට ආසන්න මුදලකි). පැයක කාලයක් සඳහා අය කෙරෙන්නේ ඉන්දීය රුපියල් 149ක් (ශ්‍රී ලංකා රුපියල්වලින් 525කට ආසන්න මුදලකි) වැනි මුදලකි.

මෙම CarryMen සේවාව තම ජීවිත පහසු කරන බව පවසන පාරිභෝගිකයෝ එම සංකල්පය අගයති.

නමුත් ඉන්දියාවේ මධ්‍යම පාන්තිකයන් අනවශ්‍ය ලෙස වරප්‍රසාද භුක්ති විඳින පිරිසක් ද යන්නත් සහ මෙම සේවා සපයන්නන් ශ්‍රම සූරාකෑමට ලක්වන නමුත් උත්කර්ෂයට නංවන ලද සුපුරුදු "කුලී වැඩ කරන්නන්" ද යන්නත් සම්බන්ධයෙන් විවාදයක් ආරම්භ වී තිබේ.

මිතුරියන් දෙදෙනෙකු වන රිතූ කන්දාරි ශ්‍රීවාස්තවා සහ කණිෂ්කා මල්හෝත්‍රා විසින් මෙම නව ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ඔවුන් දෙදෙනා ම කුඩා දරුවන් සිටින මව්වරු වෙති.

"පසුගිය අවුරුද්දේ කණිෂ්කා සහ මම අපේ බබාලා එක්ක ලාජ්පත් නගර් වෙත ගියා. ඒ වෙලාවේදී තමයි අපිට තේරුණේ බඩු මලුත් අතේ එල්ලගෙන දරුවෝ ඉන්න කරත්තත් තල්ලු කරගෙන යන්න අපිට අමාරුයි කියලා," රිතූ බීබීසීය වෙත පැවසුවා ය.

"ඒ වගේ ම අපි දැක්කා වයසක අම්මා කෙනෙක් බෑග් ගොඩක් උස්සගෙන යන්න කරන අරගලය. අපිට ඕනෙ වුණා ඇයට උදව් කරන්න. ඒත් අපිට අපේ බෑග් ටිකවත් උස්සන් යන්න බැරුව හිටියේ. ඒක ඇත්තට ම ලොකු කලකිරීමක් ගෙන දුන්නු සිදුවීමක් වුණා.

"ඉතිං අපි හිතුවා යම් මුදලක් ගෙවලා මේ වගේ උදව්වක් ගන්න පුළුවන් සේවාවක් තිබුණා නම් අපිව සාප්පු සවාරි එක්කන් යන්න කියලා අපේ පවුලේ අය ළඟ බැගෑපත් වෙන්න ඕන වෙන්නේ නැහැ නේ කියලා."

රිතු සහ කණිෂ්කා ඇතුළු මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් නිතිපතා ගැවසෙන ලාජ්පත් නගර් වැනි වෙළෙඳසල් ඇති ස්ථාන සුමට පොළොවක්, විදුලි සෝපාන සහ වායුසමීකරණ පහසුකම්වලින් සමන්විත සාප්පු සංකීර්ණ නොවේ. මේවා පදික වේදිකා පවා නොමැති, පදික වේදිකා තිබුණ ද ඒවා වෙළෙන්දන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගනු ලැබ ඇති, අතිශයින් ම ජනාකීර්ණ විවෘත වෙළෙඳපොළවල් වේ. එබැවින් එවැනි ස්ථානවල ළදරු කරත්ත තල්ලු කරගෙන යාම හෝ පයින් ඇවිද යාම පවා දුෂ්කර ය.

එදින හවස් වරුවේදී ම මෙම කාන්තාවන් දෙදෙනා තම පවුල්වල සාමාජිකයන් සමග මේ පිළිබඳව සාකච්ඡා කළ අතර, ඒ ඔස්සේ CarryMen ව්‍යාපාරය ගොඩනැගීම ආරම්භ විය.

අනතුරුව එළඹි මාස කිහිපයේදී ඔවුහු සිය සමාගම ලියාපදිංචි කර නගර සභාවෙන් සහ පොලිසියෙන් අවශ්‍ය සියලු ම අවසර ලබාගෙන, ලාජ්පත් නගර්හි කුඩා වෙළෙඳ කුටියක් ද ස්ථාපනය කළහ.

අනතුරුව ඔවුන් තරුණයින් පස්දෙනෙකු සේවයට බඳවා ගත් අතර පසුව කාන්තාවන් දෙදෙනෙකු ද බඳවා ගෙන මාසයක කාලයක් පුරාවට ඔවුන්ට ලබා දුන් ක්‍රමවත් පුහුණුවකින් පසුව සිය සේවාව ආරම්භ කළහ.

ඉතා ඉක්මනින් මෙම නව ව්‍යාපාරය පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර දහස් සංඛ්‍යාත පිරිසක් ඒ පිළිබඳ තොරතුරු බෙදාහදා ගනිමින් විවිධ මත පළ කරන්නට විය.

බොහෝ පිරිසක් මෙය අගය කරනු ලැබුවේ, නාගරික විරැකියාව 5% කට වඩා වැඩි මට්ටමක පවතින සහ මිලියන ගණනක් වූ පිරිසකට රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී ඇති රටක් තුළ දහස් ගණනකට නව රැකියා අවස්ථා බිහි කරමින් මහා පරිමාණයෙන් ව්‍යාප්ත කළ හැකි නිර්මාණශීලී අදහසක් ලෙස ය.

නමුත් මෙම නව අදහසට විරුද්ධ වන විවේචකයින් පවසන්නේ මෙය එදිනෙදා ගෘහස්ථ කටයුතු සහ සුළු වැඩ කටයුතු පවා නිවෙස්වල සිටින මෙහෙකාර සේවකයින් ලවා කරවා ගැනීමට පුරුදුව සිටින, අලස ධනවත් ඉන්දියානුවන්ගේ සුඛෝපභෝගී මානසිකත්වය මනාව පිළිඹිබු කරන්නක් බව ය.

මෙම සේවාව ලබා ගැනීමට පැමිණිය හැකි ධනවත් කාන්තාවන් සිටින ආකාරය පෙන්නුම් කෙරෙන පරිදි කෘත්‍රිම බුද්ධිය භාවිත කර නිර්මාණය කර තිබූ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව මේ පිළිබඳව ඇතැම් විරෝධතා මතු විය.

"සියල්ලට ම කලින් කියන්න ඕනේ දේ තමයි, මෙතන කිසිම වහල්භාවයක් නැහැ. අපි කාටවත් බලහත්කාරයෙන් අපේ ආයතනයේ වැඩ කරන්න කියලා කියන්නේ නැහැ. අනෙක් අතට අපේ සියලු ම සේවකයින් ස්ථාවර මාසික වැටුප් ලබන පූර්ණකාලීන සේවකයින් මිසක් දවසේ පඩියට වැඩ කරන තාවකාලික සේවකයින් නෙවෙයි," රිතූ පැවසුවා ය.

"ඒ වගේ ම මේක ධනවත් පන්තියට විතරක් තියෙන දෙයක් නෙමෙයි. සෙනඟ පිරිලා ඉන්න වෙළෙඳපළවල් සහ පාරේ තනිය ම බඩුත් අරන් යන්න එන්න අපහසුතා තියෙන පුද්ගලයින්ට උදව් කරන එක විතරයි අපි කරන්නේ."

පසුගිය සති හයක කාලය තුළ ඔවුන්ගේ සේවා ලබාගත් සේවාදායකයින් බහුතරයක් ගැබිනි මවුවරුන්, කුඩා දරුවන් සිටින මවුවරුන්, වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයින් බව ඇය පැවසුවා ය.

CarryMen සේවකයෙකු වන ආනන්ද් කුමාර් පවසන්නේ ඔවුන්ගේ ප්‍රථම පාරිභෝගිකයා වූයේ ගර්භණී කාන්තාවක බව ය. සෑම විට ම ආචාරශීලීව කටයුතු කළ යුතු බවත්, පාරිභෝගිකයින්ට පවුලේ සාමාජිකයින්ට මෙන් සැලකුම් ලබා දිය යුතු බවටත් ඔහුට පුහුණුව ලබා දුන් කාලය අතරතුරදී උපදෙස් ලබා දී ඇති බව ඔහු පැවසීය.

මෙම CarryMen සේවකයෝ ළදරු කරත්ත, කුඩ, හකුලා තැබිය හැකි පුටු, පානීය ජල බෝතල් සහ අතේ ගෙන යා හැකි චාජර් ද රැගෙන යති. එමෙන් ම ළදරු කරත්ත ආරක්ෂිතව භාවිත කරන්නේ කෙසේ ද, ඒවා දිගහරින්නේ සහ හකුලා තබන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද ඔවුනු පුහුණුව ලබා තිබේ.

"පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය කඩ සාප්පු වෙත ඉක්මනින් ම යන්න මගපෙන්වන්න පුළුවන් වෙන්න, අපි වෙළෙඳපොළ පිහිටලා තියෙන ආකාරය ගැන හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ කියලත් අපිට උපදෙස් දීලා තියෙන්නේ. පාරිභෝගිකයෝ පුටුවල වාඩි වෙලා ඉන්න අතරේ, ඔවුන් වෙනුවෙන් කෑම කවුන්ටරවල පෝලිමේ ඉන්න එකත් අපි කරනවා," ආනන්ද් පැවසුවේ ය.

මේ සඳහා එක්වීමට පෙර සාරි අලෙවි කරන සාප්පුවක සහයකයෙකු ලෙසත්, පසුව ජංගම දුරකතන යෙදුම් පාදක කර ගත් ආහාර සහ සිල්ලර බඩු බෙදාහරින්නෙකු ලෙසත් සේවය කර ඇති මෙම 18 හැවිරිදි තරුණයා පවසන්නේ තමන් මීට පෙර නියුතු වී සිටි රැකියාවලට සාපේක්ෂව මෙහි වැටුප හොඳ මට්ටමක පවතින බව සහ නව වගකීම තුළ තමන්ට සමාජයෙන් ගෞරවයක් ලැබෙන බව හැඟෙන බවත් ය.

කෘත්‍රිම දෑත් සහිත පුද්ගලයෙකු පැමිණ එම පුද්ගලයා තමන් සතු සියලු ම මුදල් ආනන්ද් වෙත ලබා දී, මුදල් නෝට්ටු ගණන් කර බඩු බාහිරාදිය සඳහා ගෙවීම් කරන ලෙස ඉල්ලා තිබුණේ ය. "ඔහු මා කෙරෙහි තැබූ ඒ අසීමිත විශ්වාසය මගේ හදවතට ම දැනුණා," ඔහු බීබීසීය පැවසුවේ ය.

සේවාව ආරම්භ කළ පළමු සතිය තුළ කිසිදු පූර්ව වෙන්කරවා ගැනීමක් සිදුනොවූ නමුත්, මිනිසුන් තුළ මේ පිළිබඳව කුතුහලයක් සහ උනන්දුවක් ඇති කිරීමට ඔවුන් සමත් වූ බව රිතූ පැවසුවා ය.

"කලින්, මිනිස්සු අපගේ සේවා කුටිය අසල නතර වෙලා මේ මොකක් ද කියලා බැලුවා, සේවාව ගැන විස්තර ඇහුවා. ඒත් දැන් අපිට දවසකට බුකින්ස් හයකට ආසන්න ගණනක් ලැබෙනවා. සති අන්ත දවස්වලට ඒ ගණන අටක් හෝ නවයක් දක්වා වැඩි වෙනවා."

පසුගිය සතියේ අධික උණුසුම් මෙන් ම පීඩාකාරී දහවලක අප ඔවුන්ගේ සේවා මධ්‍යස්ථානය වෙත යන විට, ජතින්දර් සහ අනීතා සභර්වාල් සහයකයෙකු ලබා ගැනීමේ අරමුණින් තැඹිලි සහ සුදු පැහැයෙන් යුක්ත මෙම සේවා කුටිය වෙත පැමිණ තිබිණි.

තවත් මාස කිහිපයකින් තමන් අවුරුදු 60 සම්පූර්ණ වී "ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු" වන බව පැවසූ ජතින්දර් සිය උරහිසේ බර බෑගයක් එල්ලාගෙන සිටියේ ය. අනීතා ද බෑග් දෙකක් අතැතිව සිටි අතර ඔවුන් දෙපළට තවත් භාණ්ඩ කිහිපයක් මිල දී ගැනීමට ද ඉතිරිව තිබිණි.

සභර්වාල් යුවළ මෙම ප්‍රදේශයේ ජීවත්වුව ද, ඔවුන් සහයකයෙකුගේ සේවාව ලබාගත් පළමු අවස්ථාව මෙයයි. ජතින්දර් පැවසුවේ, ඔහුගේ බිරිඳ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ මෙම සේවාව පිළිබඳව දැනුවත් වී තමාට ඒ පිළිබඳ පැවසූ බව ය.

අනීතාට මිග්‍රේන් හේතුවෙන් හිසරදයක් වැළඳී තිබීම නිසා වේදනා නාශයකයක් මිලට ගැනීමට සිදුව තිබූ බැවින් ආනන්ද් පළමුව ඔවුන් පළමු නැවතුම ලෙස ඔසුසලක් වෙත කැටුව ගියේ ය. සභර්වාල් යුවළ වෙළෙඳසල තුළට ගිය විට, ඔහු ඔවුන්ගේ ගමන් මලු සමග පිටත රැඳී සිටියේ ය.

ඔවුන් නැවත පිටතට පැමිණි සැණින් අනීතාට ඖෂධ පෙත්ත ලබා ගැනීමට හැකි වන පරිදි ආනන්ද් ඔවුන්ගේ වතුර බෝතලය ඔවුන් වෙත ලබා දුන්නේ ය.

"ඔහු අපට පාර හොයා ගන්නත් උදව් කරනවා. ෆාමසිය තියෙන්නේ කොහේ ද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. මම හිතන්නේ මෙය ඉතා විශිෂ්ට සේවාවක්. ඔහු අප සමග සිටින නිසා අපට විශාල සහනයක් දැනෙනවා වගේ ම කිසිදු අපහසුවකින් තොරව සාප්පු සවාරි යන්නත් පුළුවන්," ජතින්දර් පැවසුවේ ය.

"දැන් බෑග් අරගෙන යන එක ගැන කරදරයක් නැති නිසා අපිට නිදහසේ යන්න පුළුවන්," අනීතා ද අදහස් දක්වමින් කියා සිටියා ය.

මෙම සේවාව හරහා ශ්‍රම සූරාකෑමක් හෝ වරප්‍රසාද අවභාවිතයක් සිදුවන බවට සමාජය තුළ පවතින මතයට තමන් එකඟ නොවන බව මෙම යුවළ ප්‍රකාශ කළහ.

"මම හිතන්නේ තමන්ගේ බෑග් තනිව ම අරගෙන යන්න පුළුවන් අය ඒවා අරගෙන යන්න ඕනේ. එහෙම කර ගන්න බැරි අයට මෙම සේවාව ලබාගන්න පුළුවන්. අපි වගේ අයට මේක හරි ම ප්‍රයෝජනවත් සේවාවක්. මේක හැම වෙළෙඳපොළක ම වගේ තියෙන්නෙ ඕනේ දෙයක්," ජතින්දර් පැවසුවේ ය.

මෙම සේවාවේ සම-නිර්මාතෘ රිතු ප්‍රකාශ කළේ, ලබන ජූලි මාසයේදී අධික කාර්යබහුල චාන්ද්නි චෞක් වෙළෙඳපොළ ආශ්‍රිතව ද මෙම සේවාව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. පසුව එය නගරයේ අනෙකුත් වෙළෙඳපොළ වෙත පමණක් නොව, සමස්ත ඉන්දියාව පුරා ම ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළා ය.

කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන භාතියා පෙන්වා දෙන්නේ, මෙම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා අරමුදල් අවශ්‍ය වන අතර මෙම සේවාව කොපමණ කාලයක් පවත්වාගෙන යා හැකි ද යන්න තීරණය වන්නේ එම අරමුදල් මත පදනම්ව බව ය.

දැනට "CarryMen" යනු පූර්ණකාලීන සේවකයන් හත් දෙනෙකුගෙන් පමණක් සමන්විත ඉතා කුඩා මට්ටමේ ව්‍යාපාරයකි.

"නමුත් ව්‍යාපාරය මහා පරිමාණයෙන් ව්‍යාප්ත වූ පසුවත් ඔවුන්ට මේ ක්‍රමයම පවත්වාගෙන යාමට හැකි වේවි ද? කොන්ත්‍රාත් පදනමේ බොහෝ රැකියා සහ ඩිජිටල් වේදිකා ආශ්‍රිත සේවා ආරම්භයේදී සේවකයන්ට ඉහළ දීමනා සහ බොහෝ ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වුවත්, කාලයත් සමග ඒවා අසාර්ථක වී තිබෙනවා," භාතියා පැවසුවා ය.

"විශේෂයෙන් ම ඉන්දියාව වගේ රටක අඩු වැටුප් යටතේ කම්කරු ශ්‍රමය බහුලව තිබීම සහ ශක්තිමත් වෘත්තීය සමිති එකමුතු හිඟ නිසා සමාගම්වලට සේවකයන්ව සූරාකෑමට අවස්ථාව ලැබෙනවා. ඉතින් CarryMen සේවාව අවසානයේ ගමන් කරන්නේ කුමන දිශාවට ද කියලා අප ඉදිරියේදී බලාගෙන ඉන්න වෙනවා."