ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඒෂාන් මාලිංග: පිතිකරණයට පාරාදීසයක් වූ IPL තරගාවලියේ පිතිකරුවන්ගේ භීතිය
මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ වැඩි ම අවධානයක් හිමිකර ගැනීමට සමත්ව සිටින පන්දු යවන්නෙකු බවට ශ්‍රී ලංකාවේ ඒෂාන් මාලිංග පත්ව සිටී.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමග ඊයේ (අප්‍රේල් 29) පැවති තරගයේදී සූර්යකුමාර් යාදෙව්ගේ කඩුල්ල දවා ගැනීමත් සමග මෙවර IPL තරගවාලියේ වැඩි ම කඩුලුලාභී පන්දු යවන්නාට හිමි 'පර්පල් කැප්' එක හිමිකර ගැනීමට ඒෂාන් මාලිංග සමත් විය.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ඊයේ තරගයේදී කඩුලු 05කට ලකුණු 243ක් රැස් කළ අතර, ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය 12.15ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත්, දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඒෂාන් මාලිංග සිය පන්දු වාර 04 තුළදී ලකුණු 29ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය සටහන් වුයේ 7.25ක් ලෙස ය.
'ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් තමයි මාලිංග'
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමග ඊයේ (අප්‍රේල් 29) පැවති තරගයෙන් පසුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ නායක පැට් කමින්ස්, ඒෂාන් මාලිංග සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
''අපේ පන්දු යවන්නන් හරි ම දක්ෂයි. විශේෂයෙන් ඒෂාන් ගැන කියන්න ඕන. අපි මේ තරග ජයගන්න ප්‍රධාන හේතුවක් තමයි ඔහු. ඔහුට දැන් පර්පල් කැප් එක ලැබිලා තියෙනවා. ඔහු අපේ කණ්ඩායමේ ඉන්න නිසා ඒකෙන් විශාල බලපෑමක් ඇති කරනවා,'' කමින්ස් එහිදී පැවසුවේ ය.
මේ අතර, ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ හිටපු වේග පන්දු ක්‍රීඩකයෙකු වන ඉර්ෆාන් පතාන් ද ඒෂාන් මාලිංගගේ දක්ෂ පන්දු යැවීම පිළිබඳ සිය X සමාජ මාධ්‍ය ගිණුමේ අදහස් පළකර තිබිණි.
"ඕවර් 4කදී ලකුණු 29කට කඩුල්ලක් දවා ගත් ඒෂාන් මාලිංග තරගයේ වීරයා විය යුතු යි. ලකුණු 500කට ආසන්න සංඛ්‍යාවක් රැස් කළ තණතීරුවක, හොඳින් ක්‍රීඩා කරන පන්දු යවන්නෙකු කැපී පෙනෙන වෙනසක් ඇති කර තිබෙනවා," යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබිණි.
මේ අතර, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පිතිකරුවන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා තම කණ්ඩායම කැඳවාගෙන යමින් සිටියදී ඒෂාන් මාලිංග ඉතා දක්ෂ අන්දමින් පන්දු යැවූ බවට තරගයේ විස්තර විචාරයේ යෙදී සිටි ජාත්‍යන්තර විස්තර විචාරකයෝ අදහස් පළ කළහ.
ඒෂාන් මාලිංග යනු කවුද?
2001 වසරේ පෙබරවාරි මස 4 වන දා රත්නපුර දිස්ත්‍රික්කයේ උපත ලැබූ කිරිබත්ගල කංකානමලාගේ ඒෂාන් මාලිංග ධර්මසේන රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේ ය.
කුඩා කාලයේ සිට ම ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයාගේ දක්ෂතාව ගැන පළමු වරට ක්‍රිකට් ලෝකයේ අවධානයට ගෙන එනු ලැබුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවෙකු වන චමිල ගමගේ ය.
''දවසක් චමිල ගමගේ මට වීඩියෝ එකක් එව්වා. රත්නපුරේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක තරුණ ළමයෙක් බෝල් කරන විදිහ ඒ වීඩියෝ එකේ තිබුණේ. පස්සේ චමිල මගෙන් ඇහුවා හොද ළමයෙක් ඉන්නවා එයාට උදව් කරන්න පුළුවන් ද කියලා. ඒ තමයි ඒෂාන් මාලිංග.''
''පස්සේ මම රාගම ක්‍රිකට් ක්ලබ් එකේ කීර්ති ගුණරත්නට කතා කරලා මේ ගැන කිව්ව ම, එයා කිව්වා ඒෂාන්ට එන්න කියන්න කියලා ක්ලබ් එකට. පස්සේ ඒෂාන් කොළඹ ආවා. ක්ලබ් එකෙන් එයාව බලා ගත්තා. එයාට හොඳ වේගයකින් බෝල් කරන්න පුළුවන්කමක් තියෙනවා," ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රොෂාන් අබේසිංහ, ඒෂාන් මාලිංගගේ ක්‍රීඩා දිවියේ වෙනස සිදුවූ ආකාරය සම්බන්ධයෙන් විස්තර කරමින් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
මාලිංග පිටියේ දැක්වූ දක්ෂතා
ඒෂාන් මාලිංග 2022 වසරේදී සිය පළමු A කාණ්ඩයේ තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගැනීමට සමත් විය. ඔහු මේ දක්වා A කාණ්ඩයේ තරග 21ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 25ක් දවා ගැනීමට සමත්ව තිබේ. ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 49කට කඩුලු 05ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන් ම, අන්තර් සමාජ විස්සයි 20 තරග 45කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී කඩුලු 60ක් දවාගෙන තිබෙන අතර, ඔහුගේ හොඳ ම පන්දු යැවීම වන්නේ, ලකුණු 15 කට කඩුලු 04ක් දවා ගැනීම ය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 2025 වසරේ ජනවාරි මස 05 වන දා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින වරම් හිමි කර ගත් ඒෂාන් මාලිංග, මේ දක්වා එක්දින තරග 07කට ක්‍රීඩා කර කඩුලු 04ක් දවාගෙන තිබේ.
ජාතික කණ්ඩායම වෙනුවෙන් තම පන්දු වාර 20 මංගල තරගය ක්‍රීඩා කිරීමට 2025 වසරේ නොවැම්බර් මස 10 වන දා ඒෂාන්ට අවස්ථාව උදාවූ අතර, ඔහු මේ දක්වා විස්සයි 20 තරග 08 කදී කඩුලු 08ක් දවාගෙන තිබේ.
IPL වරම් හිමිවීම සහ එහිදී දැක්වූ දක්ෂතා
2024 වසරේ පැවති IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඒෂාන් මාලිංගගේ නම ලැයිස්තුගත වන විට ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර නොතිබිම සුවිශේෂී සිදුවීමක් විය.
ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මූලික ලංසුවක් ඒෂාන් මාලිංගට ඉදිරිපත්ව තිබූ අතර, IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.2කට මිල දී ගැනීමට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම පියවර ගත්තේ ය.
තමන් ක්‍රීඩා කළ පළමු IPL තරගවාරයේදී ම ඒෂාන් මාලිංග සන්රයිසර්ස් කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කර ගැනීමට සමත් විය. ඔහු එම තරග වාරයේදී තරග 07කට ක්‍රීඩා කරමින් කඩුලු 13ක් දවා ගැනීමට සමත් විය.
ඔහුගේ එම දක්ෂතා හේතුවෙන් 2026 IPL ක්‍රීඩා වාරය වෙනුවෙන් ඒෂාන් මාලිංග සන්යිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ රඳවා ගැනීමට කළමනාකාරිත්වය තීරණය කළ අතර, මේ වන විට ඔහු කඩුලු 15ක් දවාගෙන තිබේ.
අද (අප්‍රේල් 30) වන විට 2026 IPL තරගවාරයේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ඒෂාන් මාලිංග ය. ඔහු මේ දක්වා තරග 09ක් තුළදී කඩුලු 15ක් දවාගෙන ඇත. මෙවර තරගාවලියේ මාලිංග ගේ හොදම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 34 කට කඩුලු 04ක් දවා ගැනීමය.
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඇති වූ ආබාධය
මෙම වසරේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ඒෂාන් මාලිංග ආබාධයකට ලක්වූ අතර, ඒ හේතුවන් ඔහුට මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය.
ආබාධයෙන් පසුව නැවත ක්‍රීඩා පිටියට පිවිසුණු ඒෂාන් මාලිංග මීට දින කිහිපයකට ඉහතදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, ආබාධයෙන් පසුව අඛණ්ඩව පුහුණුවීම්වල නිරත වී නැවත තම සුපුරුදු රිද්මයට පැමිණීමට සමත් වූ බව ය.
''ආබාධයට ලක්වුණ නිසා මට මගේ ස්කිල්ස් වැඩිදියුණු කර ගන්න වගේ ම ට්‍රේනින් වෙන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. මම ග්‍රවුන්ඩ් එකේ ගොඩක් ප්‍රැක්ටිස් කළා, ඒ වගේ ම තරගවලදී ටීම් එකේ ප්ලෑන් එක ඒ විදිහට ම ක්‍රියාත්මක කළා. ඒ නිසා සාර්ථක වෙන්න හැකියාව ලැබුණා," ඔහු පැවසුවේය.
මේ අතර, මුත්තයියා මුරලිදරන් එහිදී පන්දු යැවීමේදී වැඩි වශයෙන් යෝකර් පන්දු සහ වේගය අඩාළ කරමින් පන්දු යැවීම පිළිබඳ විමසූ විට මාලිංග ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"මම පොඩි කාලේ ඉඳලා ගොඩක් ටෙනිස් බෝල් තරග ක්‍රීඩා කළේ. එතකොට මම පුරුදු වෙලා හිටියේ යෝකර් වගේ ම ස්ලෝ බෝල් දාන්න," ඔහු පිළිතුරු දුන්නේ ය..