ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රංගන ශිල්පී හේමාල් රණසිංහ: සිනමා විචාරකයෙකුට පහරදීමක් කළේ යැයි පැවසෙන සිද්ධිය ගැන අධිකරණය දුන් නියෝගය
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකුට පහරදීමක් කළේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (මැයි 14 වැනිදා) නියෝග කළාය.
ඒ, පසුගිය ජනවාරි මස 8 වන දින හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී ජනප්‍රිය සිනමා නළු හේමාල් රණසිංහ සිනමා විචාරකයකු වන ලක්මිණ රණසිංහ යන අය මරණ බවට බැන තර්ජනය කර සාපරාධී බිය ගැන්වීම සිදු කර පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද ( මැයි 14වැනිදා ) දින නඩුව කැඳවූ අවස්ථාවේදීය.
පහරදීම සිදු කෙළේ යැයි පැවසෙන ස්ථානයෙන් ලබාගත්, පහරදීම සිදු කරන ආකාරය ඇතුළත් සීසීටීවී දර්ශන සහිත සීඩී 2 ක් වැඩිදුර වාර්තාවක් මඟින් වැල්ලවත්ත පොලිසිය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද දින ඉදිරිපත් කරන ලදී.
එහිදී සැකකාර හේමාල් රණසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.
2026 සැප්තැම්බර් මස 10 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතය.
පෙබරවාරි 3 වැනිදා වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද රංගන ශිල්පී හේමාල් රණසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබිණි.
ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, සිනමා විචාරකයෙකුට මරණීය තර්ජනය කරමින් සාපරාධී බිය ගැන්වීමක් කිරීම සහ පහරදීමක් සම්බන්ධයෙනි.
පසුගිය ජනවාරි මස 8 වන දා හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී හේමාල් රණසිංහ පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන අවසන් කර ඇතැයි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් වැල්ලවත්ත පොලිසිය එදින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
මීට පෙර අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
සැකකාර හේමාල් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දික වේරගොඩ මීට පෙර අධිකරණය හමුවේ මෙසේ පැවසීය.
"ස්වාමීනී, මෙම පැමිණිලිකරු සිනමා නිර්මාණ පිළිබඳ විචාර හා විවේචන සමාජ මාධ්‍ය හරහා සිදු කරනවා. මාගේ සේවාදායකයා ජනප්‍රිය නළුවෙක්. මොවුන් දෙදෙනා ම සිනමා ක්ෂේත්‍රයේ කාලයක් එකට වැඩ කර තිබෙන දෙදෙනෙක්."
"නමුත් අවස්ථා කිහිපයකදී ම පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන ලද විචාර හා විවේචන මාගේ සේවාදායකයා අවතක්සේරුවට ලක්වන හා අපහසුතාවට පත්වන ආකාරයෙන් සිදුකළා. දෙදෙනා අතර පැවති සුහදත්වයෙන් ඉල්ලීමක් කළා මෙවැනි දේවල් ලිවීමෙන් වළකින්න කියා. බුද්ධිමත් විචාර සිදු කරන්න සහ ඒ සඳහා අපගේ කිසිදු බාධාවක් නොමැති බව මාගේ සේවාදායකයා පැමිණිලිකරුට පවසා සිටියා."
"ස්වාමීනී, මෙවන් පසුබිමකදී හැව්ලොක් සිනමා ශාලාවේ පසුගිය දා පැවති චිත්‍රපට මුහුරත් උළෙලකදී මොවුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවෙන අතර එම අවස්ථාවේදී පැමිණිලිකරු අහකට යන්න හදනවා. එහිදී මාගේ සේවාදායකයා "ලක්මිණ එන්න අපි කතා කරමු" කියා අතින් ඇදීමක් සිදු කරනු ලබනවා. එහිදී පැමිණිලිකරු කරදරයට පත්වූ ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කර එතැනින් ඉවත්ව යන අතර මෙම සියල්ල සිදුවන්නේ එම චිත්‍රපටය සම්බන්ධව මාධ්‍ය විසින් විචාර සිදු කරනු ලබන අතරතුරදී යි."
"අප මේ සම්බන්ධයෙන් කිසි ම දෙයක් දන්නේ නෑ ස්වාමීනි. මාතර පොලිසිය මගින් මගේ සේවාදායකයාගේ මවගේ නිවසට සිදු කරන ලද දැනුම් දීමකට අනුව තමයි, අද දින පොලිසියට පැමිණියේ. මාගේ සේවාදායකයාගේ දුරකතනය පසුගිය කාලයේ නැති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා. එම දුරකතන අංකයට තමයි පොලිසියෙන් කතා කරලා තියෙන්නේ. පසුව අපට පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකරනවා. නිසි දැනුම් දීමක් ලද වහා ම අප පොලිස් ස්ථානයට ඉදිරිපත්ව ප්‍රකාශයක් ලබා දුන්නා."
"කිසිදු ආකාරයක පහරදීමක් එදින සිදුවුණේ නෑ. ඔවුන් මිතුරන් ස්වාමීනි, ඔහු සමග කිසි ම ගැටලුවක් මගේ සේවාදායකයාට නෑ."
"ස්වාමීනී, මේ සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීමේ හැකියාව තිබෙන අතර සුදුසු ඇපයක් මත සැකකරු මුදා හරින ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."
පැමිණිල්ලේ නීතිඥවරයාගේ අදහස්
මෙහිදී පැමිණිලිකරු වන ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මෙසේ පැවසීය.
"ස්වාමීනී, අතින් අල්ලන විදිය පැහැදිලිව පේනවා සීසිටීවී දර්ශනවලින්. පැමිණිලිකරු වන මාගේ සේවාදායකයා සිනමා විචාරකයෙක් ලේඛකයෙක් මෙන් ම මාධ්‍යවේදියෙක්. පැමිණිලිකරු විසින් අයිස් ක්‍රීම් කියන චිත්‍රපටය සම්බන්ධයෙන් විචාරයක් කරනවා. එම විචාරය කළාට පසුව සිටි ඔෆ් ඩ්‍රීම් එකේ සිනමා ඉවෙන්ට් එකකදී සැකකරු මාගේ සේවාදායකයාට පහර දීමක් සිදු කරනවා. මොවුන් එකට වැඩ කරන නිසා සහ අනිත් අයගේ ඉල්ලීම් මත මාගේ සේවාදායකයා නිශ්ශබ්දව ඉන්නවා."
"ඊට පසුව ස්වාමීනි, මාරියා චිත්‍රපට විචාරයේදී මොහු සම්බන්ධයෙන් නොලියපු නිසා මගේ සේවාදායකයාගේ ඔළුවටත් බෙල්ලටත් පහර දෙනවා. ස්වාමීනි, ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පරීක්ෂා කළ හැකි යි. දවසක් ඔහු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නවා. ඔහුගේ බිරිඳ සහ දරුවා ඉදිරියේදී ඔහුට පහර දීම සිදුකරන්නේ."
"මේ පුද්ගලයා සම්බන්ධයෙන් විචාරය කරන්න එපා කීවා ම ඔහු සම්බන්ධයෙන් විචාරය කිරීම නැවැත්තුවා. පොලිසියට දින හතරක් එන්න කියනවා. නමුත් ඒ කිසි ම අවස්ථාවක සැකකරු පොලිසියට පැමිණෙන්නේ නැහැ. පොලිසියට සියලු ම සීසිටීවී දර්ශන ලබා දී තිබෙනවා. මෙම ක්‍රියාව තමන්ගේ අතට නීතිය අරගෙන කටයුතු කිරීමක්, ස්වාමීනි. මොහු මේ විදියට ක්‍රියා කරන පළමු අවස්ථාව මෙය නෙවේ. දිගින් දිගට ම මේ ආකාරයෙන් හැසිරෙනවා."
පැමිණිලිකරු වන ලක්මිණ රණසිංහ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, ගීත්ම ප්‍රනාන්දු, අජිත් නන්දකුමාර ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර සැකකාර නළු හේමාල් රණසිංහ වෙනුවෙන් නීතිඥ ඉන්දික වේරගොඩ, ෆර්මිලා ඉර්ශඩීන් ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.